තිර කතා සොරකමට පිළියමක්

147

ටෙලි නාට්‍යය වේවා චිත්‍රපට හෝ වේවා ඕනෑම තිර මාධ්‍යය නිර්මාණයක පදනම වන්නේ එහි තිර රචනයයි. තිර රචකයාගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳවත්, තිර රචනයේ ඇති වැදගත්කම පිළිබඳවත් මුළු ලෝකයේම අවධානය යොමු වී ඇති මොහොතක, ශ්‍රී ලංකාව තුළ තිර රචකයා සුරක්ෂිත කිරීම සඳහා තවමත් නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම කනගාටුවට කරුණකි. ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය ආරම්භවීමෙන් පසු, ගෙවීගිය වසරක පමණ කාලය තුළ, තිර රචකයන් විසින් විවිධ පාර්ශවයන් වෙත ලබාදෙන තිර පිටපත් සහ කතා සාරාංශ තිර රචකයා නොමඟ යවා සොරකම් කිරීමේ සිදුවීම් රාශියක් ගැන අත්දැකීම් වාර්තා විය. එම නිසාම, තිර රචකයන්ගේ බුද්ධිමය දේපල ආරක්ෂාව පිණිස මේ වන විට ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය විශේෂ වැඩ පිළිවෙළක් දියත් කොට ඇත.

මෙහිදී ඔබගේ අවසාන කතා සාරාංශයේ හෝ තිර පිටපතේ පී.ඩී.එෆ්. (pdf) පිටපතක් [email protected] යන ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයේ විද්‍යුත් ලිපිනයට යොමුකළ හැකි අතර, එසේ යොමුකරන තිර පිටපත හෝ කතා සාරාංශය, ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයට ලැබුණු දිනයත්, සභාපතිතුමාගේ විද්‍යුත් අත්සනත්, සංසදයේ දිය සළකුණත්, එහි පිටපතක් ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයට ලැබුණු බවටත් විද්‍යුත් සටහනක් යොදමින්, පැය 24ක් ඇතුළත සංසදය විසින් නැවත ඔබ වෙත පී.ඩී.එෆ්. (PDF) පිටපතක් යොමු කරයි. සභාපතිතුමාගේ අත්සන සහිත එම තිර පිටපත හෝ කතා සාරාංශය දැන් ඔබට විවිධ පාර්ශව වලට ලබාදිය හැකි වන අතර, එකී තිර පිටපතක් හෝ කතා සාරාංශයක් යමෙකු විසින් අවභාවිත කළහොත්, එය ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයේ ලියාපදිංචි කළ දිනය සම්බන්ධයෙන් සංසදය පෙනී සිටියි.

කෙසේ නමුත් මෙකී තිර පිටපතේ ගුණාත්මක භාවය සම්බන්ධයෙනුත්, එහි මුල් අයිතිකරුවා එය අප වෙත යොමුකරන පුද්ගලයා බවටත් සංසදයට සහතිකයක් නිකුත් කළ නොහැකි අතර, ඔබගේ තිර පිටපත හෝ කතා සාරාංශය ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයේ ලියාපදිංචි කළ දිනය සම්බන්ධයෙන් සංසදය වගවෙනු ලැබෙයි.

තිර රචකයන්ගේ බුද්ධිමය දේපල වඩ වඩාත් ආරක්ෂා කිරීම සඳහා වන නීතිමය ආරක්ෂණ ක්‍රමවේදයක් සම්බන්ධයෙන්ද, තිර රචනාවල ගුණාත්මක බව තක්සේරු කොට, කලාත්මක හා ප්‍රධාන ධාරාවේ යන දෙඅංශයේම හොඳ මට්ටමේ ඇති තිර රචනා වලට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් වඩා පුළුල් වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය මේ වන විටත් කටයුතු කරමින් සිටියි.

● ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment