තල්පේ අරියජෝති නාහිමි සිතුල්පව්ව විහාරාධිපති ධුරයට පත් වෙති

452

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, උපාධ්‍යාය ධුරන්ධර, අග්ගමහාපණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණන් වහසන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ ගාල්ල යටගල රජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රජමහා විහාරය, රුහුණේ මඟුල් මහා විහාරය, උණවටුන වැල්ලේ දේවාල විහාරය, යද්දෙහිමුල්ලේ අමරසිංහාරාමය, තල්පේ හැඩිදෙමළකන්දෙ සේලුත්තරාරාමය, උණවටුණ බෝධිරාජ විහාරය, අම්පිටියාගොඩ ගුණරතනාරාමය යන අෂ්ට මහා විහාරස්ථාන සහ කළුතර ඛෙත්තාරාමය, දෙහිවල සුදර්ශන ධර්ම නිකේතනය, ඓතිහාසික ආකාසචේතිය රාජමහා විහාරය යන තදනුබද්ධ විහාරස්ථානයන්හි ආධිපත්‍යය විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති තල්පේ අරියජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනමා තිබේ.

යටගල රජමහා විහාර සඟ පරපුරේ සෑම හිමිනමකගේම එකඟත්වයෙන් සම්මුතිපත්‍රයක් පිරිනමා මෙලෙස විහාරාධිපති පදවි පිරිනමා තිබේ.

තල්පේ අරියජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වදාළ ඉලුක්පිටියේ ජිනරතන මාහිමි, වත්තේහේනේ රතනසාර නාහිමි සහ වත්තේහේනේ පියරතන මාහිමි යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බව ලබා වත්තේහේනේ රතනසාර නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1966 වර්ෂයේදී මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලබා තිබේ.

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන අභිනව නාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේගේ කනිෂ්ඨ පැවිදි සහෝදරයා වන අතර යටගල රජමහා විහාර සඟ පරපුරේ වැඩ සිටින ජ්‍යෙෂ්ඨතම සංඝ නේතෘවරයාණන් වහන්සේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment