සාගතයෙන් පිරුණු රටක් බිහිවෙමින් තිබෙනවා

89

අත්‍යවශ්‍ය භාණ්ඩ බොහෝමයකම බරපතළ හිඟයක් ඇතිවී භාණ්ඩ මිලත් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් දරාගත නොහැකි ජීවන බරක් ජනතාවට උරුම කරදීම හමුවේ සාගතයෙන් පිරුණු සහ පෝලිම් යුගයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් ‘ජනතා අධිකරණය ඉදිරියේ’ ආණ්ඩුවේ ඉරණම තීන්දුවනු ඇති බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

පේ‍්‍රමදාස මහතා කිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වේ. එහි මෙසේද සඳහන් වේ.

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිම රටක් කඩා නොවැටුණු තරම් බංකොළොත් තත්ත්වයකට අපේ රට පත්වෙමින් තිබේ. හිතුවක්කාරී, අදූරදර්ශී, වගකීම් විරහිත පාලනය හේතුකොටගෙන මේ බරපතළ ආදීනවයන්ට රටට මුහුණ දීමට සිදුව තිබේ.

ආණ්ඩුව රටේ ජන ජීවිත, සිය දේශපාලන සහ ආත්මාර්ථකාමී න්‍යාය පත‍්‍ර සමඟ සමපාත කරමින් සූදුවක යෙදෙමින් සිටින අතර මෙහි ඛේදවාචකය රටේ ඉදිරි පරම්පරාවට පවා අත්විඳින්නට සිදුවන බව ආණ්ඩුව සිහිතබා ගත යුතුය.

අවිධිමත් සංවෘත ආර්ථික රටාවකට යොමුවෙමින් මෑත යුගයේ ලොව කිසිදු රටක් නොගන්නා ලද තරමේ අඥාන තීන්දුවක් ආණ්ඩුව ගෙන තිබේ. එහි බරපතළ ප‍්‍රතිවිපාක ඉතාම නුදුරේදී අත්විඳීමට සිදුවනු ඇත. ආණ්ඩුවේ ඇමැතිවරු දිනපතා රටට විහිලූ සපයමින් සිටින අතර රටේ උද්ගතව ඇති කිසිදු ප‍්‍රශ්නයකට ඔවුන් තුළ පිළිතුරක් නැත.

තුන්වේල තබා එක වේලක් හෝ පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමට නොහැකි තරම් ජනතාව අන්ත අසරණව සිටින මොහොතක, ආණ්ඩුවේ ඇතැම් මන්ත‍්‍රීවරු තුන්වේල දෙවේලකට හෝ එක වේලකට සීමාකරන්න යැයි ප‍්‍රකාශ නිකුත් කරන තරමට ආණ්ඩුවේ සෞභාග්‍ය දෝර ගලා තිබේ.

මේ ව්‍යවසනකාරී මොහොතේ පවා අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක බරපතළ හිඟයක් ඇති අතර අනෙක් පසින් භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. දරාගත නොහැකි ලෙස බඩු මිල ඉහළ යෑම හමුවේ ‘‘සාගතයෙන් පිරුණු රටක්’’ සහ පෝලිම් යුගයක් නිර්මාණය වෙමින් තිබේ.

ගැටලූවක් මතුවූ සෑම විටකම ආණ්ඩුව සිදුකරන්නේ ඔලූගෙඩි මාරු කිරීම සහ චරිත වෙනස් කිරීම මිස උද්ගතව ඇති ප‍්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදීම නොවේ. මේ රටේ ආර්ථික ප‍්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතු වුවත්, රජය ඇස්බැන්දුම් කි‍්‍රයාත්මක කරමින් සංගීත පුටු තරගයක් ආරම්භ කොට තිබේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment