රැජනගේ දෙවැනි ගමන කැමරා කාචයේ සටහන් කළ අපේ විමල්

357

තම මාධ්‍ය ජිවිතයේ රැජනගේ මෙරට දෙවැනි ගමන විමල්ගේ අවසන් වාර්තාකරණයද වූයේය.

1954 වර්ෂයේ පළමු වරට මෙරට සංචාරය කළ දෙවැනි එළිසබෙත් රැජන දෙවන වරට මෙහි පැමිණියේ 1981 ඔක්තෝබර් 21 වෙනිදාය. ඒ අප රටට සර්වජන ඡන්ද බලය ලැබ පනස් වසරක් පිරීමේ ස්වර්ණ ජයන්තියට සහභාගිවීම සඳහායි. එම ප්‍රධාන රාජ්‍ය උත්සවය විශාල මහජන සහභාගිත්වයකින් කොළඹ ගාලු මුවදොරදී පැවැත්විණි. උපාලි පුවත්පත් සමාගමේ දිවයින ඉරිදා පුවත්පත ආරම්භ වූයේද එම මාසයේම ඔක්තෝබර් 4 වෙනිදාවකය. දිවයින පුවත්පත ආරම්භයේදීම අපට එක්වූ ඡායාරූප ශිල්පීන් අතර විමල් සුරේන්ද්‍ර ද අපට අමතක කළ නොහැක. පත්තර රස්සාවේදී කිසිවිටක බිය නොහඳුනන්නකු වූ විමල් එසමයෙහි ආන්දෝලනාත්මක අවස්ථා පවා තම කැමරා කාචයේ සටහන් කරන්නට සමත් වූවෙකි.

එළිසබෙත් රැජනගේ වියෝව සවන්වැකුණු මට අපේ පැරණි මිත්‍රයා විමල්වද සිහිපත් වූයේය. 1981 රැජනගේ මෙරට දෙවැනි ගමන අපේ පාඨකයන් සඳහා කැමරා කාචයේ සටහන් කළේ විමල්ය. විමල් අද ජීවතුන් අතර නැත. විමල් අනපේක්ෂිත ලෙස මිය ගියේය. දිවංගත අපේ සුනිල් මාධව ප්‍රේමතිලකයන් විමල්ගේ මරණයෙන් පසු යෙදූ සටහනක මෙවැනි සඳහනක්ද වූයේය. “සැබැවින්ම ඔහු වෙනස් මිනිසෙකි. මහ රැජිනගේ පින්තූර ගන්නට ගියත් ගරා වැටුණු පතුලක පින්තූර ගන්න ගියත් ඔහු දැක්වූයේ එකම උනන්දුවක්. පසුගිය සතියේ සිකුරාදා ඔහු රෑ බෝවෙන තෙක් කන්තෝරුවේ සිටියේය.

රැජනගේ දෙවැනි ගමන කැමරා කාචයේ සටහන් කළ අපේ විමල්

රැජනගේ ලංකා ගමන ගැන පිංතූර පිටුවක් සකස් වෙමින් තිබිණි. ඒ හැම පින්තූරයක්ම ඔහුගේය. බහුතරයක් එම පිංතූරවල ඔහුගේ නම සඳහන්ව තිබිණි. එම කාර්යයට සම්බන්ධ වූ අපේ අනෙක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයා වූයේ දිවංගත රියන්සි විජේරත්න මහතාය.

‘දිවයින’ ඉරිදා පත්‍රය ඇරඹුණු මාසයේම (1981 ඔක්තෝබර්) විමල් අපෙන් සදහටම නික්ම ගියේ අබිරහසක්ද ඉතිරි කරමිනි. ඔහු එදින කන්තෝරුවටවිත් ආපසු ගියේ තම සුපුරුදු මෝටර් සයිකලයෙනි. එම මෝටර් සයිකලයේ විමල් සමඟ මමද එකල

රැජනගේ දෙවැනි ගමන කැමරා කාචයේ සටහන් කළ අපේ විමල්

ගමන් කර ඇත්තෙමි. අද මෙන් ප්‍රවාහන පහසුකම් නොතිබූ අපට විමල් හදවතින්ම උදව් කළේය. ඔහු රැකියාව අවසන්ව යනවිට කඳාන ප්‍රදේශයේදී රාත්‍රී කාලයේ අනතුරකට ලක්ව මිය ගොස් තිබිණි. අනතුරට හේතුවද නිශ්චිතව හෙළිවී නොතිබිණි. විමල් අප අතර නැතත් ඔහුගේ කැමරා කාචයේ සටහන් වූ රැජනගේ පිංතූර පළවූ පත්තර මෙලෙස මගේ නෙත ගැටුණේය.

රැජන ද විමල් ද රියන්සිද අප අතර නැත. ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ආරම්භයේදීම මියගිය අපේ පළමු මාධ්‍ය සගයා ද ඔහු වන්නේය. මරණය සීතල සෙවණැල්ලක් සේ අප යන හැම තැනම සැඟවී සිටී. විමල්ට මහ රැජනට මෙන්ම අප කාටත් ඉන් ගැලවිය නොහැක. තම මාධ්‍ය ජිවිතයේ රැජනගේ මෙරට දෙවැනි ගමන විමල්ගේ අවසන් වාර්තාකරණයද වූයේය.

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment