මර්වින්ගේ තර්ජනයට එරෙහිව ජනසෙත පෙරමුණෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්!

453

කුරුණෑගල පොතුහැර වදාකඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාජ දළදා මාලිගාව පිළිබඳව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට සහ රටේ බෞද්ධ ජනතාවට සත්‍ය තොරතුරු හෙළිකරමින් රටත් ජාතියත් අවධි කළ දළදා සුරැකීමේ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ ජනසෙත පෙරමුණේ සභාපති නිලන්ත රණසිංහ මහතාගේ නම කියමින් ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ අපහාසාත්මකව කතාකළ හිටපු ඇමැති මර්වින් සිල්වා මහතාට එරෙහිව ජනසෙත පෙරමුණේ නියෝජිතයන් සහ නිලන්ත රණසිංහ මහතා කොළඹ පොලිස් මූලස්ථානයට 8 වැනිදා පැමිණිල්ලක් කළහ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කළ ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ මෙසේ පැවසූහ.

රාජ්‍ය සේවකයන් ගස් බැඳපු යුගයක් අතීතයේ තිබුණා. දැන් ඒක ඉවරයි. නැවත ඒ වගේ යුග මේ රටට එන්නේ නැහැ. ඓතිහාසික සෙංකඩගලපුර පිහිටි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා මාළිගාවේ පිහිටි පත්තිරිප්පුවට සමානව නිර්මාණය කර ඇති ව්‍යාජ පත්තිරිප්පුවක් සහ එහි හිමිකරු විසින් බෞද්ධයන්ගේ සිත් කම්පා කරවන අන්දමින් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස අපි
නැඟීසිටියා. ඒ වගේ දෙයක් කරන්න අපිට කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ. ඒකට අහක ඉන්න දේශපාලකයකු මැදිහත්වීම කනගාටුවට කරුණක්.

මර්වින් සිල්වා අමාත්‍යවරයාට අපි කතා කරන්නේ ආචාර්ය මර්වින් සිල්වා කියා. එතුමා ඉතා අසභ්‍ය ලෙස මාධ්‍ය හරහා බැණ වදින ආකාරය ඊයේ අපි මාධ්‍ය තුළින් දැක්කා. මර්වින් සිල්වා හිටපු ඇමැතිතුමා දැන් ඔබ වයෝවෘද්ධයි එම නිසා කතා කරන විට පුද්ගලයන්ට ගෞරවය ලබා දීලා කතා කරන්න. අනාගත පරපුරට ආදර්ශයක් වෙන්න.

මල්වතු අස්ගිරි මහනාහිමිවරු සමග අපි මේ දළදා වහන්සේ ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා කළා. ඉදිරියටත් අපි ඒ කටයුතු එලෙසම සිදු කරනවා යැයි උන්වහන්සේ පැවසීය.

නිලන්ත රණසිංහ මහතා –

දළදාව සුරැකීමේ සංවිධානය ලෙස අපි මේ ව්‍යාජ දළදා මාලිගාවට එරෙහිව දැනට කාලයක පටන් තොරතුරු රටට හෙළි කළා. බුද්ධ ශාසනයට පරිභව කරන කූඨකයන් වෙනුවෙන් හිටපු ඇමැති මර්වින් සිල්වා ව්‍යාජ දළදා මාළිගාව නරඹන්න ගිහින් මගේ නම ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ කියමින් මාව

මුණගැහෙන්න යනවා කියා තර්ජනයක් කරමින් ඔහුට සුපුරුදු පරණ තග්පාට් එක නොහොත් මාධ්‍ය සංදර්ශනය දැම්මා.

ඉදිරියේදී මාගේ ජීවිතයට යම් තර්ජනයක් සිදු වුවහොත් එම වගකීම මර්වින් සිල්වා භාරගත යුතුයි. මට ආදරය කරන මිනිසුන් මිස තරහකාරයන් මේ රටේ නැහැ. මාව ඝාතනය කළත් ඔය ඩුප්ලිකේට් දළදා මාළිගාව නම් මේ රටේ සැබෑම සිංහල බෞද්ධයෝ ඉන්න තාක් කරන්න දෙන්නෙ නම් නැහැ.

කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment