අපේ මුහුදට රිංගූ ඉන්දීය ධීවර යාත්‍රාවක්‌ පෙරළී ධීවරයෙක්‌ අතුරුදන්

180

ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවර යාත‍්‍රාවක් ගැඹුරු මුහුදේ පෙරළී යෑමෙන් එහි සිටි එක් ධීවරයකු අතුරුදන් වී තිබේ.

යාපනය කෝවිලාම් ප‍්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙම අනතුර සිදුව ඇතැයි නාවික හමුදාව සඳහන් කරයි.

ඉන්දීය ධීවර යාත‍්‍රා කිහිපයක් පෙරේදා (18වැනිදා) පස්වරුවේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී ඒ බව නිරීක්‍ෂණය කළ නාවික හමුදාව ඔවුන් පලවා හැරීමට උත්සාහ දරා ඇත. එහිදී නාවික හමුදාව දැක වේගයෙන් යාත‍්‍රා කළ එක් ඉන්දීය ධීවර යාත‍්‍රාවක සිටි ධීවරයන් නාවික හමුදා වේග ප‍්‍රහාරක යාත‍්‍රාවකද සිය යාත‍්‍රාව හැප්පීමට සලස්වා පලා යෑමට ගත් උත්සාහයේදී එය අනතුරට ලක්ව ඇත.

මේ අවස්ථාවේ මුහුදට වැටුණු එහි සිටි ධීවරයන් දෙදෙනකු බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර එක් ධීවරයකු අතුරුදන්වී තිබේ. බේරාගත් ඉන්දීය ධීවරයන් දෙදෙනා පිළිබඳ එරට බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බවද නාවික හමුදාව සඳහන් කරයි. අතුරුදන් වූ ධීවරයා සොයා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් මෙහෙයුමක් අරඹා ඇත.

උතුරේ ධීවරයන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බැවින් මසුන් මැරීම සඳහා ශී‍්‍ර ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස ඉකුත් ඉරිදා තමිල්නාඩු පොලිසිය මගින් ඉන්දීය ධීවරයන්ට අනතුරු ඇඟවීමක්ද කරනු ලැබූ අතර මෙම පිරිස ශී‍්‍ර ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ඇත්තේ එසේ අනතුරු අ`ගවා තිබියදීය.

ඉන්දීය ධීවරයන් ශී‍්‍ර ලංකා මුහුදේ මසුන් මැරීමට එරෙහිව උතුරේ ධීවරයන් පසුගියදා ගැඹුරු මුහුදේදී කළු කොඩි ඔසවා විරෝධතාවකද නිරත වී තිබිණී.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment