තිස්තුන් වසරක අභිමානවත් සේවයක් සපුරන එයාර්වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ

187

කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන එයාර්වයිස් මාෂල් උදේනි රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත්ව සිටියි.

ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි ස්ථානයේ පසුවන උදේනි රාජපක්ෂ තිස්තුන් වසරක් තිස්සේ අභිමානවත් රාජකාරියක නිරත වෙමින් දිවි හිමියෙන් කැපවී රාජකාරි කළ දක්ෂ නිලධාරියෙකි.

උතුරු – නැඟෙනහිර යුද්ධයේ දී මෙන්ම රටේ ව්‍යසනකාරී කාලපරිච්ඡේදවල දී ඉතාම කැපවීමෙන් රාජකාරි කළ උදේනි රාජපක්ෂ ගුවන් හමුවේ කා අතරත් ජනප්‍රිය නිලධාරියෙකි.

1969 වසරේ ජනවාරි මස 29 වැනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළගම ග්‍රාමයේ උපත ලැබූ ඔහු බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය අරඹා ඇත. පසුව, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දක්ෂ කීර්තිමත් හා ආදර්ශමත් ශිෂ්‍යයෙක්ව ඇතුළත් වූ ඔහු ක්‍රීඩාවට ද එකලෙස දස්කම් පාමින් 1981 හා 1983 වසරවල දී අවුරුදු 13 න් පහළ හා අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩයන්ගේ ක්‍රීඩා ශූරයා (Sports Champion) බවට පත්විය. ද්විතීයික අධ්‍යාපනය සඳහා ඔහු දිවයිනේ ජනප්‍රිය හා ප්‍රමුඛතම පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය. තම අධ්‍යාපනයට පමණක් ඉඩ නොදුන් ඔහු විද්‍යාලයීය ක්‍රියාකාරකම් සඳහා අනර්ඝ දායකත්වයක් ලබාදීමෙන් දීප්තිමත් ශිෂ්‍යයකු සේම වරෙක කැඩෙට් තූර්ය වාදක කණ්ඩායමේ සැරයන්වරයා ද විය. උදේනි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක කණ්ඩායමේ සාමාජිකයකු ද වූ අතර 1987 වර්ෂයේ දී ආනන්ද විද්‍යාලයීය වර්ණලාභියකි. ඔහුගේ කැපී පෙනෙන පෞරුෂය තැනීමට මූලිකවම හේතු වූයේ ඔහුගේ අධ්‍යාපනික ජයග්‍රහණ, ක්‍රීඩා ජයග්‍රහණ නව යොවුන් වියේදී විෂය බාහිර කටයුතු සහ ආනන්ද විද්‍යාලයේ දී එකතුකරගත් අත්දැකීම්, ඵලදායී සමාජ සබඳතා වන බව මොනවට පැහැදිලිවේ.

1987 උසස් පෙළ විභාගයෙන් පසු උදේනි විශ්වවිද්‍යාල පිවිසුමට සුදුසුකම් ලැබූවත් කුඩා කල සිට තම සිතෙහි ඇතිවූ පරම අභිලාෂය මුදුන් පමුණුවා ගැනීම පිණිස ඔහු ගුවන් හමුදාවට බැඳීමට තීරණය කළේය. විශ්වවිද්‍යාල ජීවිතය අත්හල ඉක්බිතිව ශිෂ්‍යභට නිලධාරියකු ලෙස 1988 දී ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමියේ (KDA) අංක 6 වන බඳවා ගැනීමට ඉල්ලුම් කළේ අංගසම්පූර්ණ හමුදා නිලධාරියකු වීමේ අභිමතාර්ථය ඇතිවය. රට කෙරෙහි ඔහු තුළ තිබූ ආදරය සහ පුරවැසියකු ලෙස තම රට වෙනුවෙන් කළ යුතු යුතුකම් වෙනුවෙන් පෙරට පැමිණි ඔහු ඔහුගේ තරුණ කාලය සිය රට වෙනුවෙන් කැප කළේය. ඒ සඳහා ඔහුට තෝතැන්නක් වූයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමියයි.

සිය මූලික ගුවන් පුහුණුව සඳහා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයට වාර්තා කළ උදේනි 33 වැනි පියසර ශිෂ්‍යභට පාඨමාලාවේ දක්ෂම ගුවන් භටයා බවට පත් විය. ගුවන් පුහුණුව අවසන් කළ ඔහු 1990 ඔක්තෝබර් 5 වැනි දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමියෙහි උපාධිධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමු නිලධාරියකු ලෙස සිය අධිකාරිය ලබා ගත්තේය.

VVP ශ්‍රේණිගත ප්‍රධාන නියමුවෙකු (Captain Pilot) වන ඔහු CESSNA- 150, HARBIN Y – 12, HS – 748, SF – 260TP, IA 58 PUCARA, B – 200T, AN 32, සහ C – 130 වැනි විවිධ ගුවන් යානා සඳහා දක්ෂ ගුවන් නියමුවෙකි. ඔහු ගුවනේ සිට ගොඩබිමටත්, මුහුදු ඉලක්කවලට පහරදීම සහ ගුවන් ප්‍රවාහනය යන දෙඅංශයෙන්ම පියාසර පැය 7000 කට වඩා වැඩි ප්‍රමාණයක් රැස්කරගෙන ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවකුට ලැබිය හැකි ඉහළම ශ්‍රේණිගත කිරීම වන “මාස්ටර් ග්‍රීන්” ශ්‍රේණිගත කිරීමේ ඉහළම උපකරණ ශ්‍රේණිගත කිරීමට ඔහු උරුමකම් කියයි. ඔහු සිවිල් බලපත්‍රයට මෙන්ම සිවිල් ගුවන් සේවයේ ගුවන් නියමුවකුට ලැබිය හැකි ඉහළම ශ්‍රේණිගත කිරීම වන ගුවන් ප්‍රවාහන ගුවන් නියමුවන්ගේ බලපත්‍රය (ATPL) ද ඇති හමුදා ගුවන් නියමුවෙකු ලෙස ඔහුගේ වෘත්තීය මට්ටම සහ සුදුසුකම් දියුණු කරගෙන ඇත. ඔහුගේ අසීමිත කැපවීම, වගකීම්, දැරීමේ හැකියාවන් සහ නායකත්ව ගුණාංග සැලකීමෙන් උසස්වීම් ලබමින් හමුදා නිලයන් අතර ඉහළට පැමිණි අතර සිය කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ විශේෂ පත්වීම් හා තනතුරු දරා ඇත.

එයාර් වයස් මාර්ෂල් රාජපක්ෂ 2020 වසරේ දී චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨාධිපති ලෙස අණදුන් අතර නැඟෙනහිර ගුවන් ආඥාපති ලෙස ද සිය රාජකාරී කටයුතු හෙබවීය. අනතුරුව කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී, දක්ෂිණ ගුවන් ආඥාපති සහ සමූහ ගුවන් ආරක්ෂණ මෙහෙයුම් ආඥාපති ලෙස ඔහු කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන කාලය තුළ සිය වගකීම් සහගත රාජකාරී හෙබවීය. ක්‍රමක්‍රමයෙන් ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා ලෙස පත්වූ ඔහු 2022 සැප්තැම්බර් මස 14 වැනි දින සිට ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස සිය රාජකාරී කටයුතු හොබවයි.

ගුවනින් ගොඩබිම සටන්වල සහ සටන් ආධාරක මෙහෙයුම්වල නිතර වෙමින් උදේනි සෑම හමුදා මෙහෙයමකම පාහේ ඉදිරියෙන් සිට ඇත. වන්නි වික්‍රම II&III යාපනය අර්ධද්වීපය මුදා ගැනීම සඳහා මෙහෙයවූ ජය සිකුරු මෙහෙයුම , රිවිරැස මෙහෙයුම, යාල්දේවි මෙහෙයුම, ඉදිරි පිම්ම මෙහෙයුම, පුනරින් සහ මුලතිව් හමුඳා කඳවුරු අල්ලා ගැනීම යන මෙහෙයුම් ඔහුගේ හමුදා දිවිය තුළදී ඔහු දායක වූ මෙහෙයුම්වලින් කිහිපයකි. ඔහු උතුරු නැඟෙනහිර සහ මානුෂීය මෙහෙයුම් පදක්කම් ලාභියෙකි. යුද වීරත්වය, සටන් කාමීත්වය, ධෛර්යය, නොකැළැල් චරිතය සහ පක්ෂපාතී සේවය අගයමින් හමුදා පදක්කම් සහ සතුරා ඉදිරියේ පිළිබිඹු වූ රණබිම් නිර්භය සටන් නිපුණත්වය, සටන්කාමීත්වය හා නිර්භීතකම සලකමින් ඔහු තෙවරක්ම යුද සම්මාන (Gallantry Medals) ලබා ඇත.

බංගලාදේශයේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අණ පාඨමාලාව, පකිස්තානයේ ගුවන් ආරක්ෂණ කළමනාකරණ පාඨමාලාව, හොනොලුලු හවායි හි ආරක්ෂක සහයෝගිතා පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා මාණ්ඩලික විද්‍යාලයේ ගුවන් මාණ්ඩලික පාඨමාලා සහ එක්සත් රාජධානියේ රාජකීය ආරක්ෂක අධ්‍යයන පාඨමාලාව වැනි හමුදා පාඨමාලා සාර්ථකව නිම කිරීමෙන් හමුදා අධ්‍යාපන සුදුසුකම් ඔපමට්ටම් කර ගැනීමට ඔහු සමත්විය.

ඔහු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමියෙන් විද්‍යාවේදී විදුලි ඉංජිනේරු (BSc) උපාධිය ලබාගනිමින් ඔහුගේ වෘත්තිය හමුදා ජීවිතයට අඩිතාලම දැමූ අතර එතැන් සිට ඔහු කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති ගෞරව උපාධිය MSc (Hons) Mgmt Studies ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය මගින් ලබාගෙන ඔහුගේ රාජකාරියේ දක්ෂ හා ප්‍රවීණයෙකු බවට පත්කරන දැනුම සහ කුසලතා ලබාගෙන ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදා විශ්වවිද්‍යාලයෙන් (Air University US A) ගුවන් මෙහෙයුම් කලාව සහ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය (MSc in Military Operational Art & Science) ද ලන්ඩනයේ කිංග්ස් කොලේජ් University of London) වෙතින් ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග පිළිබඳ ශාස්ත්‍රපති ගෞරව උපාධිය ද MA (Hons) in International Security & Strategy ද ඔහු ලබාගෙන ඇත.

ඔහු විවිධ රටවල අධ්‍යාපනය ලැබීමට හැකියාවන්ගෙන් හා නිපුණත්වයෙන් සන්නද්ධ වූවා සේම, අපමණ වගකීම් සහගත රැකියාවේ යෙදෙමින් යුද අත්දැකීම් තම මතක පොතට එක්කර ගනිමින් තම සුන්දර පවුලට ආදරණීය පියෙකුගෙන් සරසන්නට ද ඔහුට හැකිවී ඇත. ඉනෝකා – උදේනි නම් වූ එම අදරණීය පවුල තවත් හැඩකරවීමට ඔවුන්ට ආදරණීය දියණියක සහ පුතෙකු (මියුනි සහ ඉනුර) සිටී.

එයාර් වයිස් මාර්ෂල් රාජපක්ෂ වැනි දක්ෂ ක්‍රීඩකයෙක් වන අතර ඔහු මේසපන්දු, ටෙනිස් සහ ගොල්ෆ් ක්‍රීඩා සඳහා ගුවන් හමුදාව නියෝජනය කර ඇත. ඔහුගේ ප්‍රධාන සහ වගකිවයුතු හමුදා රාජකාරීන්ට අමතරව, ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා මලල ක්‍රීඩා සංගමයේ සභාපති තනතුර ද දරා ඇත. ඊගල්ස් අභියෝගතා කොමාන්ඩර් කුසලානය (2022 වසර වනවිට) දිනාගත් එකම නිලධාරියා ඔහුය. ඔහු 2010 සහ 2021 වසරවල දී පිළිවෙළින් ටෙනිස් (Tennis) සහ ගොල්ෆ් (Golf) ක්‍රීඩාවන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ දිනා ඇති අතර, එයින් ඔහුගේ ක්‍රීඩා කෞශල්‍යය මනාව නිරූපණය වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩා ද්විත්වයකට ගුවන් හමුදා වර්ණ දිනා ගත් එකම ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment