පේරාදෙණි-ජපුර අභිරහස් සිසු මරණ දෙකක්

1100

දිවිනසා ගැනීම්ද ඝාතන ද සොයා පරීක්‍ෂණ

පේරාදෙණිය හා ශ්‍රී ජයවර්ධනපුර යන සරසවිවල සිසුන් දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් ඊයේ (16 දා) හමුවීම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්‍ෂණ අරඹා තිබේ. පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාරයේ නාන කාමරය තුළ එක් සිසුවකු ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයාගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය සරසවියේ දෙවැනි වසරේ සිසුවකුවන නන්ගුණරාසා තුහදිස් නමැති 22 හැවිරිදි ඉංජිනේරු පීඨයේ සිසුවෙකි. ඔහු යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

සිසුවා ගෙල වැළලාගෙන සියදිවි නසා ගත්තේද, එසේත් නොමැතිනම් ඔහුව කිසියම් අයකු ඝාතනය කළේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ සිදුකරති.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ සිසුවකු අභිරහස් අන්දමින් මිය යෑම සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

එම විශ්වවිද්‍යාලය මගින් කුලී පදනම මත මහරගම, කටුවාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක බිම් මහලේ එම සිසුවාගේ මළ සිරුර ලණුවකින් එල්ලෙමින් තිබෙනු එහි අනෙක් සිසුන් දැක ඇත.

පසුව එම සිසුන් ලණුව කපා ඔහුව පරීක්‍ෂා කිරීමේදී මියගොස් ඇති බව හෙළිව තිබේ. පසුව ඔවුන් කළ දැනුම්දීමකට අනුව පොලිසිය පැමිණ විමර්ශන ඇරඹීය.

මෙලෙස මියගොස් ඇත්තේ විග්නේෂ්වරන් අභිනෙජන් නමැති යාපනය, කයිට්ස්හි පදිංචිව සිටි 24 හැවිරිදි වියේ පසුවන සිසුවෙකි. ඔහු එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේ සිසුවෙක් බවද පොලිසිය කියයි.

මෙම සිසුවා මියගිය නේවාසිකාගාරයේ තවත් සිසුන් 64 දෙනකු පමණ නේවාසිකව සිටින බව හෙළිවිනැයි පොලිසිය කියයි.

අදාළ සිසුවා ගෙල වැළලාගෙන සියදිවි නසා ගත්තේද? එසේත් නොමැතිනම් මෙය ඝාතනයක්ද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදුකරති.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් එම ඥාතීන් සැක බව පැවසීම නිසා මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිතව තිබිණි.

නෝමන් පලිහවඩන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, යූ. කේ. අබේරත්න සහ සමීර අබේසිංහ – මහරගම

පුතාට පෙම් සබඳතා නෑ අධ්‍යාපනයේ පීඩනයක් නිසා දිවි නසා ගත්තා ද දන්නෑ- පේරාදෙණි සිසුවාගේ පියා කියයි

තමාගේ පුතාට කිසිදු ප්‍රේම සම්බන්ධයක් නැති බව ද සමහරවිට ඔහු අධ්‍යාපනය සම්බන්ධව කිසියම් පීඩනයකට ලක්වී මෙම මරණය සිදුකර ගන්නට ඇති බව තමා විශ්වාස කරන බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ

නේවාසිකාගාරයේ නාන කාමරය තුළ ගෙළ වැලලා මියගිය සිසුවාගේ පියාවන යාපනයේ කොඩිගාමම් පදිංචි ඒ. නන්ගුණරාසා මහතා පැවසීය.

ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය හැදෑරූ තම පුතා ඉගෙනීමට මහත් උනන්දුවක් දැක්වූ බවද නන්ගුණරාසා මහතා පැවසීය.

මෙම සිසුවාගේ මව මියගොස් ඇති අතර ඔහු පියා සමග ජීවත්වී ඇති බව කොඩිගාමම් පොලිසිය කියයි. මියගිය සිසුවාගේ අක්කා ගුරුවරියක බවද ඔහුගේ අයියාවූ වහප්මන් ගම්පහ ප්‍රදේශයේ රැකියාවක් කරන බවද කොඩිගාමම් පොලිසිය කියයි.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment