කාදිනල්තුමා පිළිබඳ සඳහනේදී කතෝලික රදගුරු සමුළුවේ සාමුහිකත්වය බිඳිනු එපා

94

කතෝලික රදගුරු සමුළුව ජනපතිගෙන් ඉල්ලයි

කාදිනල්තුමන් පිළිබඳව කරන ඕනෑම සඳහනකදී කතෝලික රදගුරු සමුළුවේ සාමූහිකත්වයට හානියක් නොවන පරිදි සිදුකරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (09 දා) ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, හැරල්ඩ් ඇන්තනි සහ එහි නියෝජ්‍ය නායක නොයෙල් ක්‍රිස්ටියන් එම්මානුවෙල් පියතුමන් ඇතුළු රදගුරු සමුළුවේ පියතුමන්ලා 12 දෙනෙකුගේ අත්සනින් යුත් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ඔබතුමන් මෑතකදී ‘ඩොයිෂ් වෙල්’ රූපවාහිනි නාලිකාවේ මාර්ටින් ගැක් මහත්මා සමග කරන ලද සම්මුඛ සාකච්ඡාව වෙත අපගේ අවධානය යොමු වී ඇත. කතෝලික සභාව සමග ඔබතුමන්ගේ ගනුදෙනු සිදුවන්නේ කතෝලික රදගුරු සමුළුව සමග මිස කාදිනල්තුමා සමග නොවන බව එම සාකච්ඡාවේදී ඔබතුමන් දිගින් දිගටම අවධාරණය කළේය.

කාදිනල් හිමිපාණන් කොළඹ අගරදගුරු හිමිපාණන් ලෙස හුදෙකලා වූ අයකු නොව, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව හා සමග පූර්ණ ලෙස බැඳුණු සහ වඩාත්ම වැදගත් සාමාජිකයකු බව මෙහිලා සඳහන් කළ යුතුය. එහෙයින් ඔබතුමන්, කාදිනල් හිමිපාණන් පිළිබඳව ඒකීයව කරනු ලබන ඕනෑම සඳහනක් කතෝලික රදගුරු සමුළුවේ සාමූහිකත්වයට සිදුකරන හානියකි. කතෝලික රදගුරු සමුළුව සමන්විත වන්නේ රදගුරු පදවි දොළහේ රදගුරු හිමිවරුන්ගෙන් සහ කොළඹ සහායක රදගුරු හිමිවරුන් තිදෙනාගෙනි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සියලු වෙළුම් කතෝලික රදගුරු සමුළුව වෙත ලබාදීම පිළිබඳව අපි ඔබතුමන්ට ස්තුතිවන්ත වෙමු. ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI), බි්‍රතාන්‍ය පොලිසිය, ඔස්ටේ්‍රලියානු, ඉන්දියානු, චීන සහ පකිස්තානු රහස් පරීක්‍ෂක කණ්ඩායම් එම ප්‍රහාරය පිළිබඳව වාර්තා ලබා දී ඇති බව ඔබතුමා එම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කරයි. මෙම කතෝලික රදගුරු සමුළුවේ මෙන්ම පොදු ජනතාවගේ ද අවධානයට යොමුකර ඇත්තේ ප්‍රථම වතාවට ය.

මෙම තත්ත්වය තුළ ඉහත සඳහන් වාර්තාවන්හි පිටපත් ද ඔබතුමා අප හා සමග බෙදාගන්නේ නම් අපි එය අගයකොට සලකමු.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment