පාස්කු වින්දිතයන් මංමුලා නොකොට යුක්තිය ඉටු කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

74

බලය ලබා ගත් දා සිට කරපු එකම දේ රැවැටීමයි බොරුවයි

ත්‍රස්තයන් අල්ලන්න වරමක් ලබා ගත් දිනයේ සිට මේ දක්වා සිදු කළේ තොරතුරු සැඟවීම රැවැට්ටීම සහ බොරුව බව එබැවින් තවදුරටත් මංමුලා නොකොට පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුවිය යුතුමයි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ සඳහා තමා ජාත්‍යන්තර පරීක්ෂණයකට අකැමැති වුවත් මේ වන විට මෙය අවුල් ජංජාලයක් බවට පත්ව ඇති නිසා නිවැරදි ජාත්‍යන්තර පරීක්ෂණයක් හරහා පමණක් මෙහි සත්‍ය අවබෝධ කර ගත හැකි බවට විශ්වාස කරන බවත් හෙතෙම කීය.

ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ පෙරේදා (10දා) දක්ෂිණ ලංකා භික්ෂු සංවිධානය මගින් සංවිධානය කෙරුණු ගිහි පැවිදි ගෞරව සම්මාන උළෙලට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා මෙසේද පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ දේශපාලන වාසිවලින් තොර, මඩ ව්‍යාපාරවලින් තොර දියුණු, ප්‍රගතිශීලී විසඳුමක්. සත්‍ය පමණක් හෙළිදරව් විය යුතුයි. එම සත්‍ය තුළ වගකීම හා වගවීම තිබිය යුතුයි. 2019 ජනාධිපතිවරණයේදී හා 2020 මහ මැතිවරණයේදී පොරොන්දු වූ ආකාරයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය සත්‍ය හෙළිදරව් කළේ නැහැ. මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් කොතරම් හඬක් නැගුවත් ඒ හඬ වෙනුවෙන් රජය ඇහුම්කන් දුන්නෙ නැහැ. හැම දෙයක්ම මේ වන විට බොරුවක් බවට පත්ව තියෙනවා.

එසේම මේ වන විට රටේ පාසල් පද්ධතිය මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් ග්‍රහණයට ලක්ව ඇති බවත් මේවන විට රට තුළ කුඩුත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බවත් මේ ගැන නිහඬව බලා සිටින්න තරම් කොන්ද පණ නැති රටක් නොවන බවත් 30 වසරක යුද්ධයක් අවසන් කළ රටේ අලු‍ත් විදිහට හිතා මේ ජාවාරම නැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එසේම 2023 වසරේ මුල් මාස 8ට කෝටි පන්ලක්ෂ හැටතුන්දහස් හාරසීයක් ණය අරන් ඇති බවත් අලි මිනිස් ගැටුම නිසා 2021, 2022 දී කෝටි 228ක් අලි වැටවල් ගහන්න වියදම් කළත් පසුගිය වසර 5ට අලි 1867ක් මිය ගොස් මිනිසුන් 618ක් ද අහිමි වී ඇති බවත් මේ වන විට රටේ කහ උණ එන්නත නොමැති බවත් ඒ නිසා අප්‍රිකාවට යාමට නොහැකි 5000ක් පෝලිමේ සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද අපේ රටට කයිවරු, සෝබන, කටවචනයට සීමා වූ බෞද්ධකමින් බුද්ධාගම රැකගත නොහැකි බවත් බෞද්ධකම මහපොළොවේ යථාර්ථයක් වන ප්‍රායෝගික බෞද්ධයකු විය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

advertistmentadvertistment
advertistmentadvertistment