තාක්‍ෂණවේදීන්ගේ හිඟයෙන් රජයේ රෝහල්වල විකිරණ පරීක්‍ෂණ ඇනහිටීමේ අවදානමක් !

49

රජයේ ප්‍රධාන රෝහල් රැසකම විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ හිඟය නිසා එම රෝහල්වල CT, PET, MRI ඇතුළු පරීක්‍ෂණ ඇනහිටීමේ අවදානමක් ඇතැයි විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ ට ඊයේ (11දා) පැවසීය.

2016 වර්ෂයට අදාළව අනුමත සේවක සංඛ්‍යාව 1100 ක් වුවත් මේ වනවිට එම ප්‍රමාණය 700 දක්වා අඩුවී ඇතැයිද, එම පිරිසෙන්ද කොටසක් මේ වනවිට විදේශගතවීම සහ විශ්‍රාමයෑම නිසා අඩුවී ඇතැයිද ඒ මහතා කීය.

කොළඹ ජාතික රෝහලේ Pet ස්කෑන් යන්ත්‍රය සඳහා විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන් තිදෙනකු සිටියද ඉන් එක් අයකු විශ්‍රාමගොස් ඇති අතර තවත් අයකු විදෙස්ගතවීමට නියමිතව සිටින බවද ඔහු කීය. මේ වනවිට විශ්‍රාම ගිය විකිරණවේදියා ස්වෙච්ඡාවෙන් පැමිණ සේවය කළත් ඔහුද ඉන් ඉවත්වීමට නියමිත බවද ධර්මවික්‍රම මහතා පැවසීය.

මහනුවර මහ රෝහලේ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ලිහිණි ඇක්ස්ලේටර් යන්ත්‍ර දෙක පසුගිය වසරේ නොවැම්බරයේ සිට අක්‍රීයව පවතින බවත්, එම නිසා එහි රෝගීන් මඩකලපුව හා අපේක්‍ෂා රෝහල් වෙත යැවීමට සිදුවී ඇති බවත් ඔහු කීය. ගොඩනැගිල්ලේ කූලර් යන්ත්‍රය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා මෙම යන්ත්‍ර දෙක අක්‍රීයව ඇති බවත්, එම කූලර් යන්ත්‍රය ක්‍රමවත්ව සැකසීමට අදාළ යන්ත්‍ර හිමි ආයතනයට මුදලින් කොටසක් ගෙවා ඇතත් එය යථා තත්ත්වයට පත්කර නැති බවත් ඔහු කීය.

මේ වනවිට මේ ආකාරයෙන් රෝහල් රැසකම පරීක්‍ෂණ යන්ත්‍ර ක්‍රියාත්මක නොවීමට අමතරව පවතින යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් නොමැතිවීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද කී ඒ මහතා මේ වනවිට සම්මුඛ පරීක්‍ෂණ සිදුකර බඳවා ගැනීමට නියමිත විකිරණ විද්‍යාවේදීන් 150 කඩිනමින් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස්කළ යුතු බවත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment