ගෑස්, ජලබිල්, විදුලිබිල් නැගලා ජනතාවට ජීවත් වෙන්න බෑ – සජිත් මැතිසබයේ දී කියයි

73

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 343කින් වැඩි වීම, ජල බිල සහ විදුලි බිල ඉහළ දැමීම තුළ ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05 දා) පැවසීය.

එලෙස මිල ඉහළ දමා ආර්ථිකය කුඩා කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වී ඇති බවත් මේ මොහොතේ ජනතාවගේ ආදායම් මාර්ග ද විශාල වශයෙන් අඩු වී ඇති බවත් විපක්ෂ නායකවරයා කීය.

රටේ සෑම ක්ෂේත්‍රයකම විශාල කඩා වැටීමක් ඇති බවත් පසුගිය වසර 12ට අලින් 3765 දෙනකු මිය ගොස් ඇති බවත් පසුගිය මාස 9ට අලි 291 දෙනකු මිය ගොස් ඇති බවත් සැප්තැම්බර් මාසයේ පමණක් අලින් 20 දෙනකු මිය ගොස් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙය මහා වන ජීවී පාරිසරික විනාශයක් බවත් ඔහු සඳහන් කළේය. මේවන විට වන ජීවී අමාත්‍යාංශයේ කුලිය ගෙවා නැති බවත් විදුලි සෝපානය පවා නතර වී ඇති බවත් හෙතෙම පැවසීය. ගෙවුණු පැය 48 තුළ පුද්ගල අතුරුදන්වීම් 11ක් වාර්තා වී ඇති බවත් ඒ අතර බාලවයස්කාර 5 දෙනකු සිටින බවත් මේ වන විට සොම්බි යනුවෙන් අලුත් මත්ද්‍රව්‍යයක් ද පැමිණ රට කුඩු පාරාදීසයක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සඳහන් කළේය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලට අනුව මෙරට ජනතාවගෙන් දහදෙනකුගෙන් 06 දෙනකු ආර්ථික අවදානම් තත්ත්වයේ සිටින බව පවසා ඇති මොහොතක රජය කිසිදු ප්‍රශ්නයක් නොමැති ආකාරයට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.මීට වඩා ජනතාව සම්බන්ධයෙන් සංවේදී වන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කීවේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment