ආසු 11 වැනිදා සිට

318

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ දෙවැනි දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාවෙන් අනුප්‍රාණය ලබමින් දෙස් විදෙස් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් නිෂ්පාදනය කරනු ලැබූ අමිල් අබේසුන්දර සම නිෂ්පාදනයෙන් දායක වූ ආසු චිත්‍රපටය එළැඹෙන 11 වැනිදා සිට කොළඹ PVR කැන්ඩි සිටි සෙන්ටර් ඇතුළු දිවයින පුරා සිනමාශාලාවලදී තිරගත කිරීමට නියමිතය. මේ සඳහා රංගනයෙන් උදාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා, චාන්දනී සෙනෙවිරත්න, සෝමරත්න දිසානායක, ස්වේතකී වාදිසිංහ, අතුල වේරගොඩ, යශෝදා රසඳුනි, රේණුකා බාලසූරිය දායක වේ.

කැමරාකරණයෙන් විශ්ව බාලසූරියද, තිර රචනය සංජීව පුෂ්පකුමාර සහ සංගීතා නිල්නදී, සංස්කරණය අජිත් රාමනායක, ශබ්ද පරිපාලනය අරුණ ප්‍රියන්ත, සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරි සහ නාමිණි පංචලා විසිනි.

ආසු චිත්‍රපටය මුල්කරගෙන පාසල් සිසුන් අතරේ ගද්‍ය රචනා තරගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ආසු චිත්‍රපටයෙන් නිරූපණය වන මව් ගුණ පුරුෂාර්ථ තරග තේමාව වන අතර මෙතෙක් චිත්‍රපටයක් වෙනුවෙන් ලබාදුන් ඉහළම මුදල් ත්‍යාගයන් ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබාදීමට චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම තීරණය කර තිබේ. කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශ දෙකකින් තරගය පැවැත්වෙන අතර කනිෂ්ඨ තරග අංශය සඳහා 9-11 ශ්‍රේණිවල සිසුන්ද ජ්‍යෙෂ්ඨ අංශය සඳහා 12-13 ශ්‍රේණිවල සිසුන්ද ඇතුළත් වේ. තරග අංශ දෙකෙන්ම මුල් ස්ථාන තුන ලබාගන්නා ජයග්‍රාහී සිසුන් හයදෙනෙකුට මුදල් ත්‍යාග පිරිනැමේ. ඒ අනුව සෑම තරග අංශයකම ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 50,000 ක්ද දෙවැනි ස්ථානය සඳහා රුපියල් 30,000 ක්ද තුන්වන ස්ථානය සඳහා රුපියල් 20,000 ක්ද හිමිවේ. එපමණක් නොව තරග අංශ දෙකෙන්ම ප්‍රථම ස්ථානය ලබාගන්නා පාසලට හෝ දහම් පාසලටද රුපියල් 50,000 බැගින් මුදල් තෑගි දෙකක් හිමිවේ. ඒ අනුව පිරිනමන මුළු තෑගි මුදල රුපියල් 300,000 කි.

ආසු 11 වැනිදා සිට

විදුහල්පතිවරයා හෝ දහම් පාසල් ප්‍රධානාචාර්යවරයා මගින් සහතික කරගත් වචන 250 ට නොඅඩු රචනාවන් [email protected] විද්‍යුත් ලිපිනයට නම, පාසල/දහම් පාසල, ශ්‍රේණිය, තරග අංශය, පාසලේ/දහම් පාසලේ ලිපිනය, පෞද්ගලික ලිපිනය, දුරකථන අංකය (ජංගම සහ ස්ථාවර) ආදිය ඇතුළත් කර ඔබ විසින් සකසන ලද අයැදුම්පතක් සමග නොවැම්බර් මස 15 වැනිදාට පෙර එවන්න. තරග විනිශ්චය මණ්ඩලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ආචාර්ය ක්‍රිෂාන්ත ෆ්‍රෙඩ්රික්ස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ප්‍රගීතිකා ජයසේකර, කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී සහභාගි වෙති. සංජීව පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ ප්‍රදර්ශනයට සමගාමීව විශ්වවිද්‍යාල සිසුන් සඳහා පැවැත්වුණු සිනමා විචාර තරගයේ ජයග්‍රාහකයන්ට හිමි මුදල් ත්‍යාග පිරිනැමීමද ඔක්තෝම්බර් මස 11 වැනිදා සවස 6.30 ට කොළඹ PVR සිනමා ශාලාවේ විශේෂ ආරාධිතයන් සඳහා පැවැත්වෙන ආසු සිනමා දර්ශනයේදී සිදුකරේ.

advertistmentadvertistment
advertistmentadvertistment