ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල් කොටස් පැවරීමේ ක්‍රියාවලියට අතුරු තහනම් නියෝගයක්

50

මේ වනවිට තෝරාගෙන ඇති අයැදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම ලබන 12 වැනිදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ලංකා ලීසිං හෝල්ඩින්ස් ලිමිටඩ් සහ හේවිස් ඉන්ටර් නැෂනල් ලිමිටඩ්, ලයිකා මොබයිල් සමාගම සහ පෙටිගෝ කෝමර්ෂියෝ ඉන්ටනැෂනල් යන ආයතන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය මුදල් ඇමැති ෂෙහාන් සේරසිංහ හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් සලකා බැලූ විනිසුරුවරයා එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස්වලින් සියයට 50.23ක් ද ලංකා හොස්පිට්ල් සමාගමේ රජය සතු කොටස් සියයට 51.34ක් අලෙවි කිරීමේ (පැවරීමේ) ක්‍රියාවලියට අදාළව තම සමාගම් අයැදුම්පත් යොමුකළ බවත් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව එකී අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළ අමාත්‍ය මණ්ඩල කමිටුව තීරණය කර ඇති බවත් පෙත්සම්කාර සමාගම් හතර අභියාචනාධිකරණයට පෙන්වා දී තිබිණි. අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ මෙම තීරණය අත්තනෝමතික බවත් අයුක්ති සහගත බවත් නිසි සුදුසුකම් සපුරා තිබියදීත් තම අයැදුම්පත් පිළිනොගැනීම එම කමිටුව ගත් තීරණය නීතියට පටහැනි වන්නේ යැයිද පෙත්සම්කරුවන් නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සම් මගින් පෙන්වා දී තිබිණි.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයන් ඇතුළු වගඋත්තරකරුවන්ට මාර්තු 12 වැනිදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි යැවීමට නියෝග කළේය. නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ රසික දිසානායක මහතා සමග ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment