ප්‍රඥා සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා

74

පසුගිය ඔක්තෝබර් 13 වැනිදා මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර 39 වන ගුණානුස්මරණ උත්සවයේදී අභ්‍යවකාශ විද්‍යා හා තාරකා විද්‍යා දැනුම ලාංකීය ජන සමාජය වෙත ස්ව භාෂාවෙන් බෙදාදීමේ විශිෂ්ට මෙහෙවර ඇගයෙමින් “ප්‍රඥා සම්මානය – 2023” කෘතහස්ත විද්‍යා ලේඛක හා ප්‍රවීණ තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා වෙත ප්‍රදානය කෙරිණි.

ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර අනුස්මරණ පදනම හා Wings ලංකා පදනම එක්ව ප්‍රදානය කළ මෙම සම්මානය සමාජ සවි බලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා අතින් ඒ මහතා වෙත පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට කන්නන්ගර ගුණානුස්මරණ කමිටුවේ සභාපති විමල් වික්‍රමතන්ත්‍රී මහතා හා Wings ලංකා පදනමෙහි සභාපති චම්පික ගුණසේකර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

වර්ෂ 1947 ජූනි මස 18 වැනිදා බොරැල්ලේදී උපත ලැබූ අනුර චන්ද්‍ර පෙරේරා අභ්‍යවකාශ විද්‍යාව මෙන්ම තාරකා විද්‍යා විෂය පිළිබඳ පුවත්පත්වලට ලිපි සැපයූ කෘතහස්ත විද්‍යා ලේඛකයෙකි. ප්‍රවීණ තාරකා විද්‍යාඥයෙකි.

විශේෂයෙන්ම අන්තර්ජාලය වැනි මාධ්‍ය නොමැති අවධියක ලොව පුරා ප්‍රචලිත වූ අභ්‍යවකාශ දැනුම සිංහල මාධ්‍යයෙන් පාඨක සමූහයා වෙත සමීප කිරීමට ඔහු දැරූ වෙහෙස ප්‍රසංශනීය වේ.

අනුර සී පෙරේරා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

1955 වර්ෂයේ ජූනි මස 20 වැනිදා ඇති වූ පූර්ණ සූර්යග්‍රහණය තාරකා විද්‍යාව පිළිබඳ හැදෑරීමට ඔහු තුළ කුතුහලයක් හා පෙළැඹවීමක් ඇති කළ නිමිත්ත විය.

මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයීය මාසික පුවත්පතට විද්‍යා ලිපි යොමු කරමින් ලේඛන කලාවට පිවිසි ඒ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යා පුවත්පත වූ ‘විදුමිණ‘ පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ද කලක් සේවය කළේය. මෙම කීර්තිමත් විද්‍යා ලේඛකයා පසු කලෙක එම පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ පදවිය ද හෙබවී ය.

වර්ෂ 1968 දී විදුමිණ කර්තෘ ධුරය හෙබවූ එස්. එම්. බන්දුශීල මහතාගේ මගපෙන්වීමෙන් “විනෝදයෙන් විද්‍යා දැනුම” නම් කෘතිය පළකරමින් විද්‍යා ලේඛන කලාව ඔහු දිග් විජය කළේය.

නාසා ආයතනය 1969 ජූලි 16 වෙනිදා අභ්‍යවකාශ ගත කළ ඇපලෝ 11 යානයෙහි ප්‍රථම සඳ ගමන පසුබිම් කරගනිමින් “සඳට ගිය ප්‍රථම අපූර්ව ගමන” නම් විද්‍යා ප්‍රබන්ධය රචනා කරමින් ඔහු මහත් කීර්තියට පත්විය. මෙම ප්‍රථම සඳ ගමනයට එක්වූ ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං ද අනුර සී පෙරේරා මහතා වෙත ප්‍රශංසාත්මක ලිපියක් ලබාදී තිබීම සුවිශේෂ මතක සටහනකි.

1971 දී ඔහු විසින් රචිත “සූර්යා සහ ග්‍රහයෝ” කෘතියට විද්‍යා සාහිත්‍ය සම්මානය හිමි වීම අනුර සී පෙරේරා නම් විද්‍යා ලේඛකයාගේ ලේඛන කලා ජීවිතයෙහි නව හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය.

තාරකා විද්‍යාව පිළිබඳ හසළ දැනුමක් ඇති ඒ මහතා දසක හයකට වැඩි ලේඛන කලා ජීවිතයෙහි අභ්‍යවකාශ හා තාරකා විද්‍යා ප්‍රබන්ධ හා පොත් පත් තිහකට වැඩි සංඛ්‍යාවක් ලියා පළ කර ඇත.

60 දශකයේ සිට මෙරට සෑම ජාතික පුවත්පතකටම විද්‍යා ලිපි සැපයූ තරුණ අනුර සී පෙරේරා විද්‍යා ලේඛයෙක් ලෙස පුවත්පත් පාඨකයන් අතර ජනප්‍රිය චරිතයක් විය.

එංගලන්තයේ ලන්ඩන් නුවර රාජකීය විද්‍යා ආයතනයෙන් තාරකා විද්‍යාව පිළිබඳ පාඨමාලාව හැදෑරූ අනුර සී. පෙරේරා ඇමෙරිකාවේ නාසා ආයතනය ඇතුළු ලෝකයේ රටවල් කිහිපයකම ගගන විද්‍යා හා අභ්‍යවකාශ පරිපාලන ආයතන වෙත ගොස් තම දැනුම ප්‍රගුණ කරගත් නැණවතෙකි.

අභ්‍යවකාශ විද්‍යා ලේඛන කලාව හා තාරකා විද්‍යාඥයෙක් ලෙස ඔහු ඉටුකළ විශිෂ්ට සේවය අගයමින් එංගලන්තයේ රාජකීය තාරකා විද්‍යා සංගමයේ උත්තරීතර සාමාජිකත්වය අනුර සී පෙරේරා මහතා වෙත පිරිනමා ඇත. බි්‍රතාන්‍ය අන්තර් ග්‍රහලෝක සංගමයේ උත්තරීතර සාමාජිකත්වයත් ඇමරිකාවේ ජාතික අභ්‍යවකාශ විද්‍යා සංගමයේ සාමාජිකත්වයත් පසුකාලීනව ඔහු වෙත පිරිනමා තිබුණි.

ලෝ ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ රචක ආතර් සී ක්ලාක් මහතා සමීප මිතුරෙක් ලෙස ඇසුරු කළ එතුමා මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම විද්‍යා ලේඛකයෙක් ද වේ. තවද දේශන හා සම්මන්ත්‍රණ පවත්වමින් අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ දැනුම හා කුතුහලය නිරතුරුව පාසල් දරුවන් වෙත ලබාදීමට ද පුරෝගාමී කාර්යයක් ඉටු කරනු ලැබීය.

80 දශකයේ දී ඒ මහතා ලංකා දැනුම බැංකුව නම් සංවිධානය පිහිටුවා එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශක සංගමයේ ආරම්භක ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ඒ මහතා ලේඛන කලාව පමණක් නොව ප්‍රකාශන කලාව ද නගාසිටුවීමට අමිල මෙහෙවරක් ඉටු කරනු ලැබීය.

චම්පික ගුණසේකර
සභාපති, Wings ලංකා පදන

advertistmentadvertistment
advertistmentadvertistment