මහා පරිමාණ වී මගඩියක් මණ්ඩලයේ වී මෝල්ලුන්ට කුණුකොල්ලයට දීලා

119

වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගනු ලැබූ වී තොග පෞද්ගලික මෝල් හිමියන්ට අයත් ගබඩාවල තැන්පත් කර ඒ මෝල් හිමියන්ටම අඩු මිලට ඒවා අලෙවි කිරීමේ මහා පරිමාණ වංචාවක් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට වී අලෙවි මණ්ඩලයට හැකිවී තිබේ.

පොල්ගහවෙල ප්‍රදේශයේ පුද්ගලික මෝල් හිමියකුට අයත් ගබඩාවක තිබූ වී කිලෝ ලක්‍ෂ පහක් එම මෝල් හිමියාටම විකිණීමට යාමේදී මෙම වංචාවේ සුලමුල හෙළිකර ගත් බව මණ්ඩලය කියා සිටී.

2020-21 වසරවලදී වී අලෙවි මණ්ඩලයට අයත් මෙම වී තොග පෞද්ගලික මෝල් හිමියන්ගේ ගබඩාවල තැන්පත් කර ඇත්තේ විධිමත් ක්‍රියාපටිපාටි සියල්ල උල්ලංඝනය කරමින් බවද හෙළිවී තිබේ. වැඩි මිල ගණන් දමා ප්‍රමිතියෙන් තොර වී මිලදී ගෙන ඇතැයිද හෙළිවී තිබේ.

වර්තමාන කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා මෙම තොරතුරු හෙළිවීමත් සමග වී අලෙවි මණ්ඩලයේ විගණන නිලධාරීන් ඇතුළු පිරිසක් යවා මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.

නමුත් මෙම වී ගබඩාවේ තිබූ වී තොග පරීක්‍ෂා කිරීමට ඉඩ නොදීම නිසා පොල්ගහවෙල පොලිසියට පැමිණිලි කිරීමට එම නිලධාරීන්ට සිදුව තිබේ. මෙම පෞද්ගලික ගබඩාවේ තිබූ වී කිලෝ ලක්‍ෂ පහෙන් කොටසක් අතුරුදන් වී ඇතැයි ද හෙළිවී ඇත.

වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් පිරිසක්ද මෙම වංචාවට හවුල් වී ඇතැයි හෙළිවී තිබේ. තවත් පුද්ගලික වී ගබඩාවල වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩා කර තිබේදැයි යන්න විමර්ශන ආරම්භ කරන ලෙස ඇමැතිවරයා වී අලෙවි මණ්ඩල සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දී තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment