අලුත් පනතෙන් විදුලි බලයත් සුපිරි පැලැන්තියට

120

යෝජිත නව විදුලිබල පනත අනුව අඩු වියදම් විදුලිබල ජනනයක් හෝ පාරිභෝගික සුරක්ෂිතතාවක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බැවින් ඉදිරියේ දී විදුලි බලය මෙරට ධනේශ්වර පැලැන්තියට පමණක් භුක්ති විඳිය හැකි සුඛෝපභෝගී සේවාවක් වනු ඇති බවට විදුලි වෘත්තීය සමිති කියයි.

අදාළ නව විදුලි පනත සම්මත කර ගත් පසු ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කර සමාගම් කීපයකට විකුණා දමා බිලියන ගණනින් ලාභ ලැබීමේ අරමුණින් ජනතාවගේ විදුලි බිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් මේ වනවිට දියත් වෙමින් පවතින බවද විදුලි වෘත්තීය සමිති කියා සිටිති.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප්, දීමනා, වෛද්‍යාධාර සහ ණය යෝජනා ඇතුළු සියල්ලටම වසරකට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 45ක් බවත්, එය ලංවිම සමස්ත ඇස්තමේන්තුගත වියදම වන රුපියල් බිලියන 700ක මුදලින් 7% කටත් වඩා අඩු ප්‍රතිශතයක් බවත් වෘත්තීය සමිති කියයි. එබැවින් මෙම සේවක වියදම් සියල්ල නවතා දැමුවත් විදුලි බිලේ දැනෙන වෙනසක් ජනතාවට ලබාදීමේ හැකියාවක් නොමැති බවද එම සමිති පවසයි.

මෙවන් තත්ත්වයක් තුළ ලංවිම සේවක පඩිය පෙන්වා නව විදුලි පනත ගැසට් කර ජනතාව නොමඟ යවමින් ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කර විකුණා දැමීමට විෂය භාර ඇමැතිවරයා සහ රජය කටයුතු කරමින් සිටින බවට ද විදුලි වෘත්තීය සමිති චෝදනා කරති.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment