අනියම් බිරිඳට සැපදෙන්න සමාගම් හිමිකරු හොරකමේ ගිහින්

304

කෝටි ගණනක භාණ්ඩ හා සුඛෝපභෝගී මෝටර් රථයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගැනේ

සන්නිවේදන කුලුනු ඉදිකරන සමාගමක හිමිකරුවකු සිය අනියම් බිරිය හා සැපවත් ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මෙහෙයවූ හය දෙනෙකුගෙන් යුත් හොර කල්ලියක සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළෙඳසැල් හා නිවාස බිඳ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් ඇස් කණ්ණාඩි, රන් භාණ්ඩ, රූපවාහිනි යන්ත්‍ර, වාහන අමතර කොටස්, හොරකම් කරන ලද භාණ්ඩ අලෙවියෙන් ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් සමග ඉකුත්දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතුරුගිරිය හා උඩහමුල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 – 48 වයස් කාණ්ඩවල පුද්ගලයන් බවද පොලිසිය කියයි.

කොට්ටාව පොලිසියේ අපරාධ අංශයට සැක කටයුතු වාහනයක් මාලපල්ල ප්‍රදේශයේ මාර්ගයේ නවතා ඇති බවට ලද තොරතුරකට අනුව සිදු කළ හදිසි වැටලීමේදී එහි පුද්ගලයන් හතර දෙනෙකු රැඳී සිට ඇති අතර මෝටර් රථය තුළ ඇස් කණ්ණාඩි 597ක්, රූපවාහිනී යන්ත්‍ර තුනක්, පවුම් 5ක රන් භාණ්ඩ, ජංගම දුරකථනයක් සමග මෝටර් රථ අමතර කොටස් සොයා ගැනීමෙන් පසු සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් පරස්පර ප්‍රකාශ ලබාදීම හේතුවෙන් මෙම හොරකම්වල සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. මෙම හොර කල්ලියේ ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ හා තවත් පුද්ගලයකු මේ වන විට අතුරුදන්ව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද බවද පොලිසිය කියයි. සැකකරුවන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බුද්ධික චතුරංග , පො.සැ (59518) නිශාන්, පො.කො (73034) ලක්මාල්, (84855) රොෂාන්, (80094) ජයන්ත, (94036) විජේසිංහ, (96619) දිසානායක, (101997) රත්නායක, (103782) දර්ශන ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment