වාස්තුවට අනුව ගෙයක් හදමු !

577

මෙලොව උපදින සෑම මිනිසෙකුගේම මූලික අවශ්‍යතාවක් ලෙස තම වාසස්ථානය හඳුන්වාදිය හැකිය. ආදි මුතුන් මිත්තන් පවා ගල්ලෙන්, ගස් බෙන, පිරිමිඩි වැනි වාසස්ථානවල ජීවත් වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. ගතට සැනසිල්ලත් හිසට සෙවණැල්ලත් ලබන්නට වාස්තු විද්‍යානුකූලව සොදුරු නිවහනක් තනාගත යුතු වේ. සුන්දර වූ මිහිකතේ සෞභාග්‍යමත් වූත් සශ්‍රීක වූත් බිම්කඩක්, වාස්තු විද්‍යානුකූලව තෝරා ගෙන එහි සිහින නිවස ඉදිකිරීමට අපේක්ෂා කරන ඔබට, මෙම ලිපියෙන් පැහැදිලි කෙරෙන්නේ නිවැරදිව නිවාස සැලසුමක් දිශාගත කර ගන්නා ආකාරය පිළිබඳවයි.

මෙහිදී ප්‍රථමයෙන් උතුරු ඊශාන දිශා පිළිබඳව දැනුවත් වෙමු. නිවසට විශ්ව ශක්තීන්ගේ ආකර්ශනය ලැබෙන්නේ උතුරු ඊශාන දිශාවෙනි. ඒ අතරින් ඊශාන දිශාව ප්‍රබල ආකර්ශන ශක්තියක් ගෙන දෙන දිශාව වේ. මරු නොමැති එකම දිශාව වන්නේ ද ඊශාන දිශාවයි. යම් නිවසක ඊශාන පිරිසිදුව, අලංකාරව තබා ගන්නේ නම් එම නිවසට ශ්‍රියා කාන්තාව වඩිනු ඇත. අඟ හිඟවලින් තොරව සමෘද්ධිමත් දිවියක් ගත කිරීමට හැකි වේ. ධන ආකර්ශනය, දේව ආකර්ශනය ඇතුළු විශ්වයේ සියලු ශක්තීන්ගේ ආකර්ෂණය ගෙන එන අතර දරුවන්ගේ අධ්‍යාපනයේ ද දියුණුව ගෙන දේ. දිනෙන් දින පවුලේ ආර්ථිකයේ නැග්මක් ඇති වේ. නිවසක ඉදිකිරීම් කටයුතු ද ඉක්මනින් සිදු වේ.

නිවාස සැලසුමක් නියමාකාරයෙන් දිශාගත කර ගැනීමේදී නිවසේ විසිත්ත කාමරය තිබිය යුත්තේ උතුරු, ඊසාන නැගෙනහිර දිශාවලට වේ. ඔබේ ඉඩමේ මුහුණත කුමන දිශාවකට තිබුණ ද දක්ෂ වාස්තුවේදියකුට නිවසේ විසිත්ත කාමරය උතුරු ඊසාන දිශාවට සැලසුම් කරගත හැකි වේ.

නිවාස සැලසුමක් දිශාගත කිරීමේදී කිසිසේත් නාන කාමර, මුළුතැන්ගෙය උතුරු ඊසාන දිශාවට නොගත යුතු වේ. මන්ද, උතුරු ඊසාන යනු ඉතා පිරිසිදුව තබාගත යුතු දිශාවන් වේ. මෙම දිශාවේ නාන කාමර, මුළුතැන්ගෙවල්, විදුලි මීටර ආදිය ස්ථානගත වීමෙන් නිවසක දියුණුවක් ඇති නොවේ. දරුවන්ගේ අධ්‍යාපනයේ පසුබැම්, කල්පවතින රෝගී තත්ත්වයන් අඩදබර, කලකෝලාහල ඇති කරවයි.

උතුරු ඊසාන දිශාවට විසිත්ත කාමරය නොගන්නේ නම් එම දිශාව ආගමික වතාවත් සඳහා හෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදාගත හැක. වාස්තු විද්‍යාවේ සඳහන් වන වාස්තු පුරුෂයාගේ හිස ඊසාන දිශාවට දිශාවට තිබීම තුළින් මෙම දිශාවේ වැදගත්කම මනාව පැහැදිලි වේ.

නිවසක සෑමවිටම අලංකාර වූ මිදුලක් තිබිය යුතු වේ.

ගසකට පොත්ත මෙන් එය ඉතා වැදගත් වේ. නිවසක් අලංකාර වන්නේ සිත් ඇදගන්නා ආකාරයේ මිදුලක් සකසා ගැනීමෙනි. එහිදී ද අතුරු ඊසාන දිශා උද්‍යානයක් ආකාරයෙන් සකසා ගත යුතු වේ. විසිතුරු මල් සිටුවා, උද්‍යාන පුටු ආදිය තබා, පොකුණු, දියඇලි ආදිය සැකසීම තුළින් ආර්ථික දියුණුව ඇති කරවයි. විශ්ව ශක්තීන්ගේ මෙන්ම මිනිසුන්ගේ ද ආකර්ශනයට ලක් වේ. නිවසක යම් යම් වාස්තු දෝෂ තිබුණ ද අලංකාරව හා පිරිසිදුව සිත් ඇද ගන්නා ආකාරයට ඉදිකර ගැනීමෙන් එම දෝෂ තත්ත්වයන් යම් තරමක සමනය වීමක් ඇති වේ.

ඉඩමක උතුරු ඊසාන දිශාවේ අලංකාර සුවඳ හමන මල් වර්ග මෙන්ම ධන ආකර්ශනය ගෙන දෙන මගුල් කරඳ වැනි ගස් වර්ග ද සිටවිය හැකිය. එසේ කොහොඹ, ඇට්ටේරියා, අඹ, වෙරළු, සඳුන්, සැවැන්දරා, සුවඳ කොට්ටං, ඊතණ ආදී නිවසට සුබදායී ගස්වර්ග ද සිටුවා ගැනීමේ හැකියාව ඇත.

විශ්වයේ ඇති ශක්තීන් නිවසකට ගලා එන්නේ ඊසාන දිශාවෙනි. ශක්ති ගලනයේ ප්‍රධානම ස්ථානය වන්නේ ඊසාන දිශාවයි. ඊසාන දිශාවෙන් ඇතුළු වන ශක්තිය නිරිත දිශාවේ ගබඩා වේ. දෙවියන්ගේ ආශිර්වාදය මෙන්ම විශ්ව ශක්තීන්ගේ ආකර්ශනය ද ඊසාන දිශාවෙන් හිමි වේ. නිවසක ඇති බලවත්ම ස්ථානය මෙම දිශාව වේ. ඉඩම වටා තාප්ප බැදීමේදී ඊසාන දිශාවේ තාප්පය පමණට වඩා උස් කිරීම නොකළ යුතු අත ඉඩමේ ද එම දිශාවට අදාළ ප්‍රදේශය පහත් කළ යුතු වේ. නිවාස සැලසුමක් සැකසීමේදී උතුරු ඊසාන නැගෙනහිර දිශා පහත් කර තල දෙකක ආකාරයට සකස් කරගත හැකි වේ. ඔබ ප්‍රයෝජනයට ගන්නා ළිඳ පවා දිශාගත කළ යුත්තේ ඊසාන දිශාවට.

සාදා නිම කරන ලද නිවාසවල වාස්තු පරීක්ෂා කිරීම්වලදී බොහෝ විට දැකගත හැකි ප්‍රධානම දෝෂයක් වන්නේ ඊසාන දිශාව දුර්වල වීමයි. එනම් ඊසාන දිශාවේ පිරිසිදුකම අඩුවීමයි.

රෙදිවැල්, අපිරිසිදු ජලය බැස යන වලවල් දරමඩු, කැලිකසළ වලවල්, ගරාජ ආදිය සකස්කර ගැනීමෙන් එම නිවසට බලාපොරොත්තු වන ආකාරයේ දියුණුවක් ළඟා කරගත නොහැකි වේ.

නිවසක් දිශාගත කිරීමේදී නැගෙනහිර දිශාවෙන් හැකිතාක් නිවසට හිරු රශ්මිය ලැබෙන අයුරින් දොර ජනෙල් වැඩි කර සැලසුම සකසා ගත හැකි වේ. හිරු එළියේ ඇති රෝග නාශක ශක්තිය, ධන ආකර්ශන ශක්තිය හා ජීව ශක්තිය යන සියල්ල ලබා ගැනීමට නම් විසිත්ත කාමරය, කෑම කාමරය වැනි පොදු කොටස් නැගෙනහිර දිශාවට ගත යුතු වේ. ප්‍රධාන දොර නැගෙනහිර දිශාවට දිශාගත කළ හැකි නම් එය ඉතා යහපත් වේ. ප්‍රමාණයෙන් විශාල ජනෙල් හැකිතාක් නැගෙනහිරට දිශාගත කර

ගැනීමට හැක. නිවසක් පමණට වඩා අඳුරු වූ විට නොපෙනෙන දෝෂ පවා ඇතිවීමට හේතු වේ. එම නිසා තමන් ඉදිකර ගන්නා නිවසේ සෑම ස්ථානයක්ම හොඳින් එළිය පවතින ලෙස සකසා ගත යුතු වේ. නිවසක් ඉදිකිරීමේදී උතු-ර හා නැගෙනහිර දිශාවලට මිදුලේ වැඩි ඉඩකඩක් තබාගත යුතු බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ. නිවස සෑදීමේදී උතු-ර නැගෙනහිර දිශාවලට ඉඩමේ වැඩි ඉඩ ප්‍රමාණයක් තැබීමෙන් නිවසේ ආලෝකය වැඩිකරගත හැකිය. කිසිසේත් ඉඩකඩ අඩු ඉඩමක වුව ද මායිම් බිත්ති උතුරු හා නැගෙනහිර දිශාවට ගැනීම නොකළ යුතුය. උතුරු හෝ නැගෙනහිර දිශාවට මුහුණත ඇති ඉඩමක අලංකාර වූ නිවාස සැලසුමක් සකසා ගැනීම පහසු වේ.

බස්නාහිර හෝ දකුණු දිශාවට ඉඩමේ මුහුණත තිබේ නම් වාස්තු උපදෙස් ලබාගත යුතුය.

දිවා රෑ නොබලා ශ්‍රමය වගුරා හරිහම්බ කරගත් මුදල නාස්ති නොවන ලෙස නිවසක් ඉදිකරගැනීම කළ යුතුය. ඒ සඳහා එක් වරක් නොව කිහිප වරක් සිතා බලා නිවාස සැලසුම සකසා ගත යුතු වේ. අනෙකුත් දිශා පිළිබඳව ඉදිරි ලිපිවලින් දැනුවත් වෙමු.

වාස්තුවට අනුව ගෙයක් හදමු !

ඉන්දියානු එක්ස්සලන් සම්මානලාභී
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
වාස්තු විද්‍යා උපදේශක
අජිත් මද්දුමආරච්චි
සුබසෙත ජ්‍යොතිෂ මධ්‍යස්ථානය
දොම්පෙ – දුක 0778400123
ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment