ඇමැතිගේ චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සිට වර්ජනයකට

352

වෘත්තීය සමිති අයිතිවාසිකම් මර්දනය කරමින් රෝගීන්ගේ සහ නිදහස් සෞඛ්‍යයේ උන්නතිය වෙනුවෙන් භාෂණයේ හා ප්‍රකාශනයේ ඇති අයිතියද සීමා කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය අද (25දා) ඉවත් කර නොගන්නේ නම් ඊට එරෙහිව හෙට (26දා) සිට සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පසුගිය 20 දා නිකුත් කර ඇති එම චක්‍රලේඛය ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (24 දා) සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් ඇතුළු නියෝජිතයෝ සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් භාර දුන්හ.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින ඇත්ත ජනතාවට ප්‍රකාශ කිරීම හේතුවෙන් භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට පහර ගැසීමකට චක්‍රලේඛය මගින් ඇමැතිවරයා ක්‍රියාකර ඇති බවත් එම චක්‍රලේඛය පැය 24 ක් ඇතුළත ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇති අතර එසේ නොවන්නේ නම් ඊට එරෙහිව හෙට සිට සමස්ත සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කළ බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ‘දිවයින’ට පැවසීය.

චක්‍රලේඛය අවලංගු කරන ලෙසත්, සෞඛ්‍ය පද්ධතියේ කඩා වැටීම දෙස නිහඬව බලා නොසිට හැකිනම් රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී සිය නිර්දෝෂිභාවය පෙන්වන ලෙසත්, සෞඛ්‍ය සමිති සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනී සීතා අරඹේපොල මහත්මියට අභියෝග කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment