ගමන් වාර 46කට තිත – හිතුවක්කාර දුම්රිය වර්ජනයෙන් ජනතාව නන්නත්තාරයි

203

ජනතාව පෙළනවා නම් දැඩි තීන්දුවක් ගන්න වෙනවා – ඇමැති බන්දුල

දුම්රිය රියැදුරු සංගමය විසින් පෙරේදා (23දා) ක්ෂණිකව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර ඒ හේතුවෙන් ඊයේ ද (24දා) කාර්යාල දුම්රිය 11 ක් ඇතුළුව දුම්රිය ගමන් 65 ක් අවලංගු විය. ඒ අනුව ඉරිදා සහ සඳුදා දෙදින අවලංගු වූ දුම්රිය ගමන් වාර ගණන 80කි.

පෙර දැනුම් දීමකින් තොරව හදිසියේ ක්‍රියාත්මක කළ මෙම වැඩ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අසීරුවට පත් වූ අතර ඔවුහු දැඩි කණස්සල්ලෙන් ආණ්ඩුවට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට දොස් තබමින් සිය ගමන් බිමන් සපුරා ගැනීමට විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිත කළහ. වර්ජනයක් පැවැතිය ද ඇතැම් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක වූ බැවින් ඒවායේ දැඩි තදබදයක් දක්නට ලැබිණි. ඇතැම් මගීන් දුම්රිය එන්ජින්වලද නැගී පැමිණෙන අයුරු දිස් විය.

දුම්රිය රියදුරු සේවා වාරවල යෙදවීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා පෙරේදා කොළඹින් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ 06.40 රඹුක්කන, 07.10 අඹේපුස්ස, රාත්‍රී 08.50 පොල්ගහවෙල, රාත්‍රී 09.50 මීරීගම හා 11.00 රඹුක්කන බලා ධාවනය වන දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 21ක් පමණ අවලංගු වී තිබිණ.

මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය එන්ජින් රියැදුරන් අවිධිමත් ලෙස ධාවනාගාර අතර සේවා වාර මාරු කිරීමට විරෝධය පළ කරමින් අසනීප නිවාඩු වාර්තා කිරීම නිසා ඊයේ උදෑසන වන විට දුම්රිය ගමන් වාර 72 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු විය. කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ලිඛිතව හෝ වාචිකව කලින් දැනුවත් කර නොතිබූ අතර දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජේ. එන්. ඉඳිපොලගේ මහතා කියා සිටියේ ඔවුන්ගේ ඉල්ලීම් මොනවාදැයි හරි හැටි නොදන්නා බවය. මෙම හදිසි වැඩ වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

“දුම්රිය දෙපාර්තමේන්තුවට සුද්ද සිංහලෙන් කියලා තිබෙනවා මොනවා හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් මුලින්ම දුම්රිය සාමාන්‍යාධිකාරිට කියන්න. දෙවනුව අමාත්‍යංශ ලේකම්ට කියන්න. ප්‍රශ්නය විසඳුණේ නැත්නම් තුන්වෙනුව මට කියන්න කියලා. ඒත් එහෙම නැතුව මගීන් කොළඹට ගෙනල්ලා එක පාරටම දහස් ගණනක් අතරමං කරනවා නම් මේකට ඉතා දැඩි තීන්දුවක් ගන්න ඕනෑ. ජනතාවගේ ඉල්ලීමක් තිබුණා මේක පෞද්ගලිකකරණය කරන්න කියලා. නමුත් මම කිව්වේ මේක අධිකාරියක් කරලා ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලයි. ඒකට මම කාලයක් ඉල්ලුවා. ඒත් මේ විදිහට දුම්රිය සේවය ආණ්ඩුව සහ ජනතාව පෙළනවානම් කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා දැඩි තීන්දුවක් ගන්න වෙනවා. මම හැම වෘත්තීය සමිතියකටම මාසයකටම වරක් සාකච්ඡාවක් ලබාදී තිබෙනවා. ඒත් ඒ අය මෙහෙම කරනවා නම් මට වෙන විකල්පයකට යන්න වෙනවා”

මේ අතර ඉරිදා සවස ආරම්භ කෙරුණු රියැදුරු වර්ජනය ඊයේ සවස 3.30ට පමණ අවසන් විය. දුම්රිය බලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අවසන් කළ බව ‘දිවයින’ට පැවසූ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා ඊයේ පෙරවරුවේ ධාවනය නොවූ ගමන් වාර සවස්වරුවේ ධාවනය කළ බව ද කීවේය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment