පොහොට්ටුවේ බලය තිබූ ඇල්පිටිය ප්‍රා. සභාව දියවෙයි – බලය ශූන්‍ය වුණා

247

පළාත් පාලන ඉතිහාසයේ පළමු වරට සිදු වූ පෙරළියක්
දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ඊයේ (28) අහෝසි වී එහි පාලනය සභාවේ ලේකම් යටතට පත්ව තිබේ.

පළාත් පාලන ආඥා පනතට 2017 එක්වූ නව සංශෝධනයේ 262 අධිකාරියේ 66 ආ වගන්තියට අනුව එම ප්‍රාදේශීය සභාවේ බලය අහෝසි වන බව දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා ‘දිවයින’ට පැවසීය.

පනතට අනුව ප්‍රාදේශීය සභාවට දෙවැනි වතාවට පත්වූ සභාපතිවරයා ඉදිරිපත් කළ දෙවන අයවැය ලේඛනය ද ඊයේ (28) පරාජයට පත්වීම නිසා මෙලෙස සභාව නියමිත කාලයට පෙර අහෝසි වූ බව ද ඒ මහතා පැවසීය. පළාත් පාලන ආයතනයක් මැතිවරණ ඉතිහාසයේ මේ ආකාරයට අහෝසි වන ප්‍රථම අවස්ථාව මෙය බවද ඒ මහතා සඳහන් කළේය.

අයවැය පරාජයට පත්වීමත් සමග තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ අස්වීමත් සමග සියලු සභිකයන්ගේ ධුරයන් ද අහෝසි වී යන බවද හෙතෙම කීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා දෙවැනි වරට ද පත් වූ සභාපති විසින් 2024 වර්ෂය සඳහා ඊයේ (28) ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ඡන්දයෙන් පරාජය වීම නිසා මෙම තත්ත්වයට ඇති විය.

මෙතෙක් දිවයිනේ පැවැති සක්‍රීය එකම ප්‍රාදේශීය සභාව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව විය. එහි බලය හිමිව තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. එහි සභාපති තනතුර හොබවන ලද්දේ නලීන් චමින්ද ප්‍රියදර්ශන මහතා විසිනි.

සභාපතිවරයාගේ ඉල්ලීම අනුව ලේකම් අනූෂා ප්‍රියදර්ශනී මහත්මිය විසින් 2024 වර්ෂය සඳහා වූ අයවැය ඡන්ද විමසීම සිදු කරන ලදි. එහිදී පාලක පක්ෂයට ඡන්ද 12ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද 14 ක් ප්‍රකාශ වුණි. ඒ අනුව වැඩි ඡන්ද 02 කින් අයවැය පරාජයට පත් වූ බව ලේකම්වරිය ප්‍රකාශ කළාය.

ප්‍රාදේශීය සභාවේ මීට පෙර වසර 04 ක කාලයක් සභාපති වශයෙන් කටයුතු කළ කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ පාලනයට එරෙහිව පාලක පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව විරෝධතා පවත්වමින් 2024 වර්ෂය වෙනුවෙන් ප්‍රථම වරට ඉකුත් වසරේ දෙසැම්බර් 5 වැනිදා ඉදිරිපත් කළ අයවැය පරාජය කළහ. ඒ නිසා දෙවැනි වරට ද දෙසැම්බර් 18 වැනිදා අයවැය ඡන්ද විමසීම සිදු කරන ලදි.

එහිදී ද අයවැයට පක්ෂව ඡන්ද 9ක් සහ විරුද්ධව ඡන්ද 19ක් ප්‍රකාශ වීම නිසා හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාට සභාපති තනතුර අහිමි විය.

අනතුරුව දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සභාවේ කටයුතු පවත්වා ගෙන යෑම සඳහා උප සභාපති ජයසේන නාගොඩවිතාන මහතා පත්කර තිබූ අතර සභාවේ අභිනව සභාපති වශයෙන් නලීන් චමින්ද ප්‍රියදර්ශන මහතා පත්කරමින් ඉකුත් ජනවාරි 28 වැනිදා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණි. ඒ අනුව පෙබරවාරි 01 වැනිදා ඔහු අභිනව සභාපති වශයෙන් දිවුරුම් දී තිබිණි.

ඔහු විසින් 2024 වර්ෂය සඳහා ප්‍රථම වරට පෙබරවාරි 21 වැනි දින ඉදිරිපත් කළ අයවැය පරාජය වීම නිසා පෙබරවාරි 28 වැනි දා (ඊයේ) දෙවැනි වරට අයවැය ඉදිරිපත් කෙරිණි. එම අයවැය ද ඡන්ද 02 කින් පරාජය වීම නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව බල ශූන්‍ය තත්ත්වයට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ සභාපතිවරුන් දෙදෙනකු දෙවරකදී අයවැය පරාජයට පත් වුවහොත් පළාත් පාලන ආඥා පනතේ 262 වෙනි අධිකාරියේ 66 ආ වගන්තිය අනුව ප්‍රාදේශීය සභාවේ බලය ශුන්‍ය වී කොමසාරිස්වරයකුගේ පාලනයට යටත් වන බව පැවසීය.
ඇල්පිටිය – විදානාරච්චි කීර්තිරත්න, ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment