මන්නාරමේ වගුරුවල ලුණු මිදී ඇති අයුරු…

මාතොට ඉතිහාසය තිරුකේතීශ්වරම් කෝවිලට යටවෙලා…

වංකාලේ අලුත් ඉදිකිරීම් තුළ පැරැණි ජනාවාසවල සාධක මතු වෙයි…

රජවරු ලුණු ලේවායන් පවත්වාගෙන ගිය වංකාලේ කැලයට

මෝදරගම්ආරුව මීට පෙර ගවේෂණය කරලා තියෙන්නෙ දෙදෙනයි…

මාන්තායි ගොඩැල්ලට උතුරු දෙසින් දිය අගලට මායිම් වන වැලි කඳු ලවණ සහිත වගුරු ප්‍රදේශයකි. එම ප්‍රදේශයට පතිත වන දැඩි හිරු රශ්මියත් සමඟ එම වගුරු බිමෙහි බොහෝ ස්ථානවල දිය සිඳී ගොස් ඇති බව පෙනේ. තැන, තැන දියළු මඩ තට්ටුව ඉරි තැලී පුපුරා ගොස්ය. තීරු ආකාරයට සකස් වූ ගොඩැලි මත විවිධ ශාක පඳුරු වැවී ඇති අයුරු ද දෙනෙත් මත රැඳේ. විසල් භූමිය තුළ මිනිස් වාසයක් නම් පෙනෙන්න නැත. එහෙත් බූරුවන්ගේ පා සලකුණු කලපුව පුරා රටාවකට තැන්පත් වී තිබෙන අයුරු පෙනේ. එම නිරීක්‍ෂණයන් අතරතුර වගුරු බිම ගවේෂණය කිරීමේ අරමුණ ගැන තිලංක සිරිවර්ධනයන්ගෙන් මම විමසුවෙමි.

“මාන්තායි සම්බන්ධයෙන් මෙරට ලිඛිත මුලාශ්‍රවල සාධක ඉතා අල්පයි. බොහෝවිට මාන්තායි ඉතිහාසයේ දැක්වෙන්නේ ඉන්දියානු ආක්‍රමණය සම්බන්ධවයි. ඒත් වෙනත් විදේශීය මූලාශ්‍රවල මාන්තායි ගැන විශේෂ තොරතුරු සඳහන් වෙනවා. ඒ වගේම දකුණු ඉන්දියානු සංගම් සාහිත්‍යයේ, ක්‍රිස්තු පූර්ව 3, ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවස් අතර ලියැවුණු මධුරයිකන්චි සහ පට්ටිනපලයි වගේ කාව්‍ය කෘතිවල මාන්තායි ගැන සඳහන් වෙනවා. මාන්තායි වරායට සමකාලීනව දකුණු ඉන්දියාවේ තිබුණු වෙළෙඳ වරාය නගර ආශ්‍රිතව ජනාවාසකරණය ගැනත් එම කාව්‍ය කෘතිවල සඳහන් වෙලා තියෙනවා. එම නගරවලට ආශ්‍රිත මුහුදු තීරයේ වාසය කළ ධීවර ප්‍රජාව ගැන තියෙන තොරතුරු ඉතාමත් වැදගත්. ඉස්සන්, කැස්බෑවන් ආහාරයට ගනිමින්, කුඩා පැල්පත්වල වාසය කරමින්, පුර පෝය දිනට මසුන් මැරීමෙන් වැළකී සිටි ප්‍රජාවක් ගැන එම කෘතිවලින් අනාවරණය වෙනවා. එම තොරතුරු සමඟ නැවත මාන්තායි ගවේෂණය කරගෙන ගියොත් ඓතිහාසික අවධියේ පෙර, අපර දෙදිග රටවල් සමඟ කරගෙන ගිය වෙළෙඳාම, නාගරික ජීවිතය, විවිධ තාක්‍ෂණික යෙදවුම් ගැන වගේම වඩාත් පහළ ස්ථරවලින් ප්‍රාග් ඓතිහාසික සාධකත් සොයාගන්න පුළුවන්. ඒත් අපි මාන්තායිවලට ආවේ වෙළෙඳ ඉතිහාසය, ජනාවාස පර්යේෂණ කරන්න නෙමෙයි. මාන්තායි පිටත මුහුද දෙසට තියෙන තැනිතලාවේ මදක් ඇවිදල බලන්න. එම ප්‍රදේශවලින් ලැබෙන පුරාවිද්‍යා සාධක අතිශය වැදගත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දකින්න ලැබෙන කුඩා උස් තීරු වගේ බිම් පුරාණ වෙරළාශ්‍රිත වැලි තැන්පතු වෙන්න පුළුවන්. මේ වගේ ස්ථානවල ධීවර ජනාවාස ඉතා හොඳින් වර්ධනය වෙලා තියෙන්න පුළුවන්…” කථිකාචාර්යවරයා අදහස් දක්වන අතරේ වැලි කඳු අතර සැඟ වී තිබෙන බෙලිකටු, පැරැණි වළංකටු පරිස්සමට මතු කර ගන්නා අයුරු මගේ නෙත ගැටිණි.

‘මේ තියෙන්නෙ පැරැණි ජනාවාසයක වළං කටු…’ කථිකාචාර්යවරයා පුංචි වළංකටු කැබැල්ලක් අල්ල මත තබා මා දෙසට දිගු කළේය.

මාන්තායි මිනිස්සු පුර පෝයට මාළු මරලා නෑ…
වංකාලේ පුරාවිද්‍යා ස්ථානයෙන් හමු වන විදේශීය මැටි බදුන් කෑලි…

ජනාකීර්ණ මාන්තායි නගරයෙන් පිටත ජනතාව ජීවත් වී තිබෙන බවට මේ සාධක කදිම සාක්‍ෂි. විශේෂයෙන්ම අපි බලන්නෙ ප්‍රධාන පුරාවිද්‍යා සාධකයන් එක්ක බැඳුණු මහා ප්‍රජාවක් දිහා. ඒත් මෙවැනි පරිධියක ඉන්න සෙසු ප්‍රජාව ගැන ලැබෙන සාධක සුළු කොට තකන්න බෑ. මාන්තායි කැණීමෙන් හමුවුණු අස්ථි අවශේෂ පරීක්‍ෂා කර බැලූ පී. බී. කරුණාරත්න මහතා පෙන්වා දෙන ආකාරයට ඓතිහාසික අවධියේ නගරයට ගෙනා කැලෑ සතුන්ගේ මස් ප්‍රමාණයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ සාධකවලින් පෙන්නුම් කරන්නෙ මාන්තායි අවට ගොවිබිම්වලට පැමිණි සතුන්ව දඩයම් කරලා තියෙන තත්ත්වයක්. පුරාවිද්‍යා ගවේෂණවලදී එවැනි තොරතුරු අතිශය වැදගත්. විශේෂයෙන්ම අනුරාධපුරයේ නාගරීකරණයත් සමඟ එම නාගරික සම්බන්ධතාවල සංස්කෘතික හැඩගැස්වීම ප්‍රත්‍යන්ත කලාපවලින් දකින්න පුළුවන් කියන දේ අපට පැහැදිළි වෙනවා. උදාහරණයක් විදිහට අනුරාධපුර නගර කේන්ද්‍රයෙන් පිටතට තියෙන විහාර සංකීර්ණ කේන්ද්‍රයත් එක්ක දක්වන සම්බන්ධතාව තේරුම් ගන්න හොඳ ආකෘති සපයනවා. ඒ වගේම තමයි මාන්තායි. ඒත් මේ අවට වැලි කඳුවලින් අතිශය වැදගත් පුරාවිද්‍යා සාධක සොයාගන්න පුළුවන් බව 20 වෙනි සියවසේ මුල් භාගයේ ජෝන් ස්ටීල් මහතාගේ පැහැදිළි කිරීමෙන් පසු ඒ ගැන පුළුල් සාකච්ඡාවක් නිර්මාණය වෙලා නෑ…” නැවතත් තිලංක සිරිවර්ධනයන් පුංචි හැන්දකින් වැලි පොළොව පහුරු ගාන්නට විය.

මෙරට ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන මාතොට වරාය හා සම්බන්ධ විවිධ කතා අප අසා තිබේ. එමෙන්ම මාතොට වරාය පුරාවිද්‍යාත්මක වශයෙන් සුවිශේෂී ස්ථානයකි. එම පුරාවිද්‍යාවට වඩා අතිශය වැදගත් ජීවමාන සාධක මතු කරගැනීමට හැකි ස්ථානයක් ලෙස මාතොට වරාය හැඳින්විය හැකි බව ද තිලංක සිරිවර්ධන අපට පැහැදිළි කළේය. එම භූමිය තුළ තිබී සොයාගත් ඉපැරැණි දෙස්, විදෙස් මැටි බඳුන් කැබලි, පබළු එම ඉතිහාසයට සාක්‍ෂි දරන බව සැබෑය. එහෙත් විසල් කෝවිල මාතොට ඉතිහාසය පොළොවට යට කර ඇති බව සැබෑය. එය මෙරට ඉතිහාසයට කරන විශාල අපරාධයක් බව ද හැඟිණි. විවිධ සිතිවිලිවලින් මනස හොල්මන් කරනවිට මාතොට ට සමුදීමට ගවේෂණ කණ්ඩායම තීරණ කළේය. ඔවුන්ගේ ඉදිරි ගවේෂණ ගමනාන්තය වූයේ මාතොට වරායේ සිට විල්පත්තු අභය භූමිය දක්වා වෙරළ තීරයයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ මායිම වූ මෝදරගම්ආරුව දක්වා වෙරළ තීරයේ දුර කිලෝ මීටර් 45 කි. එම වෙරළ තීරයේ ඇති කඩතොලු ස්වභාවය නිසා ගමන ප්‍රමාද වන බව ද ඔව්හු පැවසූහ. සාමාන්‍යයෙන් දිනකට ගවේෂණය කළ හැකි දුර ප්‍රමාණය කිලෝමීටර් පහකි. ඒ අනුව ආරම්භ කිරීමට නියමිත වෙරළ ගවේෂණයට දින 10 ක් පමණ ගත වන බව ද ඔව්හු අනුමාන කළහ. භූමියේ ස්වභාවය, හමුවන පුරාවිද්‍යා සාධක, කාලගුණික තත්ත්වය ඇතුළු විවිධ හේතු මත එම කාලය අඩු වැඩිවීමට හැකි බව ද ඔව්හු පැවසූහ. ඒ සමඟ ගවේෂණය කිරීමට නියමිත මෙරට වයඹදිග මෝදරගම්ආරුව දක්වා වූ වෙරළ තීරයේ විශේෂත්වය පැහැදිළි කිරීමට ද තිලංක සිරිවර්ධනයන් අමතක නොකළේය.

“ඉතිහාසය පුරාවට මීට පෙර මේ වෙරළ තීරය සම්පූර්ණයෙන් ගවේෂණය කරලා තියෙන්නෙ ගවේෂකයන් දෙදෙනෙක් පමණයි. එක් අයෙක් ඒ. එම්. හෝකාර්ට්. අනිත් පර්යේෂකයා ඊ. ජේ. වේලන්ඩි. ඔහුගේ ගවේෂණය තුළින් වැදගත් පුරාවිද්‍යා සාධක සොයාගෙන තියෙනවා. පසුකාලීනව පී. ඊ. පී. දැරණියගල සහ සිරාන් දැරණියගල විල්පත්තුව සහ මෝදරගම්ආරුව දක්වා ගවේෂණය කළා. ඔවුන්ගේ ගවේෂණ කටයුතු ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් පමණක්ම නෙමෙයි. ඒ වගේම පරිසර විද්‍යාත්මක පර්යේෂණ කිහිපයක් මේ ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන සිදුවෙලා තියෙනවා. ඒත් සමස්ත කලාපයම ආවරණය වෙලා නෑ. ඒ නිසා අපේ ගවේෂණය තුළින් මෙරට ඉතිහාසයට, පුරාවිද්‍යාවට අලුත් තොරතුරු රාශියක් එකතු කිරීමට අවස්ථාව ලැබෙයි කියන විශ්වාසය අප තුළ තියෙනවා…” තිලංක සිරිවර්ධනයන්ගේ වචන මගේ සිතේ නැවුම් බලාපොරොත්තු ඇති කළා පමණක් නොව, විඩාබර සිතට ඒ වචන පවන් සැලිණි. වෙරළ දිගේ සිදු කෙරෙන ගවේෂණ කටයුතු විවිධ ප්‍රදේශවලට විතැන් වුවද අපගේ නවාතැන්පොළ වෙනස් නොවිණි.

ගවේෂණ කටයුතු නතර කර මන්නාරම නගර මධ්‍යයේ පර්ල් රෙස්ට් එකට යන විට මට දැනුණේ හැන්දෑවට නිවසට යන හුරුපුරුදු බවය. වැලි මිදුලෙ විසල් කොහොඹ ගස යට බංකුව මත හිඳගෙන ඉදිරි ගවේෂණ කටයුතු සැලසුම් කරමින් සතුටු සාමිච්චියේ ගත කරන හෝරාවට වැඩි කාලයෙන් පසුව නින්දට වැටෙන අප හිමිදිරියේම ගවේෂණ කටයුතු ආරම්භ කිරීම දින චර්යාව බවට පත් වී තිබිණි.

මාන්තායි මිනිස්සු පුර පෝයට මාළු මරලා නෑ…
තේක්කම් අමුණ

මන්නාරම දූපතේ දකුණු දිසාවට වෙරළ කලාපය කලපු, ලවණ වගුරු සහිත තෙත් භූමියකි. වංකාලේ අභය භූමිය ලෙසට නම් කර ඇත්තේ ද මේ වෙරළ කලාපයයි. මන්නාරම සිට දකුණු දිසාවට ගමන් කරන වෙරළබඩ මාර්ගය වැටී ඇත්තේ ද වංකාලේ රැම්සා තෙත් බිම් මැදිනි. නිරිත දිසාවෙන් හමා එන සුළං සහ දිය ප්‍රවාහවලින් මේ කලාපය තුළ රොන්මඩ තැන්පත්වීම බහුලය. විශේෂයෙන්ම මල්වතුඔයෙන් මුහුදට ගලා බසිනා රොන්මඩ බොහෝමයක් අවසාදිතයක් සකස් කරන බැවින් මේ ප්‍රදේශයේ වගුරු ස්වභාවයක් නිර්මාණය වී තිබේ. වගුරු බිම මැදින් වැටුණු මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කළ අපි ස්ථාන කිහිපයකින් වගුරු බිමට බැස්සෙමු.

මුහුදට ආසන්නයෙන් කඩොලාන ලන්ද සරුවට තිබුණ ද අභ්‍යන්තරයට කඩොලාන ගහණය අඩුය. කෙස් රහිත තට්ට ගෙඩියක් වැනි එම භූමිය හිරු රැසින් නිර්දය ලෙස දවාලන බව ද සැබෑය. එමෙන්ම අව් රශ්මියට ලුණු මිදී තිබෙන අයුරු ඈතින්, ඈතට දිස් වේ. ලුණු කර්මාන්තයට උචිත භූමිය සංවර්ධන කටයුත්තට යොදා නොගෙන අතහැර දා තිබෙන අයුරු දකිනවිට මාගේ සිත පිච්චිණි. හිරු තවමත් ළපටි බැවින් ලුණු කතරේ ඇවිදීම අපහසු නොවිණි. එහෙත් ක්‍රමයෙන් දවස මෝරා වැඩෙන විට ස්වේත වර්ණ ලුණු ස්ඵටික මත පතිත වන හිරු කිරණ පරාවර්තනයවීම දෑස්වලට දරාගැනීමට අපහසු විය. මිදුණු ලුණු තට්ටු මත අසීරුවෙන් ඇවිද ගිය ද සතුටුවිය හැකි පුරාවිද්‍යා සාධක හමු නොවිණි. ස්ථාන කිහිපයක් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පර්යේෂණ කටයුතු දකුණු දිසාවට හැරවීමට තිලංක සිරිවර්ධනයන් යෝජනා කළේය. ඒ අතර ඔහු අප රැඳී සිටින ප්‍රදේශයේ ඉතිහාසය වචන කළේය.

“අනුරාධපුර රාජධානියේ අග භාගයේ හිටපු පාලකයො ලුණු කෙත් පවත්වාගෙන ගිය බව මහාවංසයේ සඳහන් වෙනවා. ලුණු කෙත් කියන්නෙ ලුණු ලේවායන්. එකල මේ කලාපවලත් ලුණු කෙත් පවත්වාගෙන ගිහින් ඇති. ඒ වගේම ලන්දේසි යුගයේදී අරුචිආරුවේ මුවදොරින් උතුරු කොටසේ සකස් කරපු සිතියමකත් ලුණු ලේවායන් ගැන සඳහන් වෙනවා. දැනට දැක ගැනීමට තිබෙන භූ ලක්‍ෂණවලට අනුව ඒ සිතියමේ දැක්වෙන්නෙ මේ ප්‍රදේශ…”

මාන්තායි මිනිස්සු පුර පෝයට මාළු මරලා නෑ…
අරුචි ආරුවේ යන්නට තෙප්පම සූදානම් කරන ෆයිරූස්

ආරුචිආරුව දක්වා වෙරළ කලපු, ලවණ වගුරු සහිත භූමිය මෙන්ම වෙරළට ආසන්නයෙන් කිරට බර වූ වී කරල් සහිත විසල් කුඹුරු යාය නිසා මුළු ප්‍රදේශයම සුන්දරය. ඒ සුන්දරත්වයෙන් දෑස් ඈත් කිරීමට ලෝබ සිතෙන තරම් ය. අරමුණ ගවේෂණය බැවින් සොබා සෞන්දර්ය දෑසින් විඳගෙන අපි ඉදිරියට ගියෙමු. එහෙත් මේ ප්‍රදේශයේ මෑත කාලීනව සිදු වී තිබෙන වෙරළ විපර්යාස සමඟ පැරැණි ක්‍ෂේත්‍ර හඳුනාගත නොහැකිවීම පුරාවිද්‍යා ගවේෂණවලට ලොකු ගැටලුවක් වී තිබෙන බව පැහැදිළිය. ඒ තත්ත්වයට බොහෝවිට බලපානුයේ වෙරළ දෙසින් ඇති වන නව තැන්පතු සමඟ පැරැණි ක්‍ෂේත්‍ර ක්‍රමයෙන් වැසී යෑම බව තිලංක සිරිවර්ධනයන් පැවසීය. තැනින්, තැන වෙරළ නිරීක්‍ෂණය කළ ද විශේෂිත පුරාවිද්‍යා සාධකයක් හමු නොවුණු බව ද හේ පැවසීය. එහෙයින් 1977 වර්ෂයේදී ජෝන් කාර්ස්වෙල් වාර්තා කර ඇති අතිශය වැදගත් ක්‍ෂේත්‍රයක් වන ‘වංකාලෙයි’ නැවත පරීක්‍ෂා කිරීමට ඔහු කථිකා කළේය.

වංකාලෙයි යනු නැෂනල් ජියෝග්‍රැපික් පර්යේෂණ ආධාර මත ජෝන් කාර්ස්වෙල් විසින් මෙරටින් සොයාගත් ක්‍ෂේත්‍රවලින් වැදගත්ම ස්ථානයකි. ඔහුගේ පර්යේෂණවල අරමුණ වී තිබුණේ ජාත්‍යන්තර වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවට හිමි තැන සොයාගැනීමය. ඒ අනුව තම්මැන්නාව පැරැණි නගරය සොයාගැනීමේ අපේක්‍ෂාවෙන් මන්නාරමේ සිට මෝදරගම්ආරුව දක්වා සිදු කළ පර්යේෂණවලින් සතුටුදායක ප්‍රතිඵල නොලැබුණ ද ක්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේ මුල් භාගයට අයත් ජනාවාසවල ජීවත් වූ පැරැන්නන් භාවිතයට ගත් දේශීය සහ චීන මැටි බඳුන්වල කැබැලි සහිත පුරාවිද්‍යාත්මක සාධක බොහොමයක් වංකාලෙයි ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. එම ජනාවාසය වෙරළ දිගට ව්‍යාප්ත පුළුල් ජනාවාසයක් බව ද ඔහු අනුමාන කර තිබිණි. එහෙත් එම ජනාවාසය පැවති කාලය සියවස් දෙකක් බව ද ඔහු ඉතිහාසගත කර තිබේ. එම පර්යේෂණයේදී ඉන්දියාව සහ මාලදිවයින සම්බන්ධව ද වැදගත් ඉතිහාස කරුණු සොයාගැනීමට ද ජෝන් කාර්ස්වෙල් සමත් වී තිබිණි. ඉතිහාසය එසේ වචන වන විට අප රැගත් වෑන් රථය වංකාලෙයි පුරාවිද්‍යා ප්‍රදේශයට ළඟා විය. එම ප්‍රදේශය ද ජනාකීර්ණ ප්‍රදේශයකි. ඉදිකෙරමින් පැවැති විසල් ක්‍රීඩාංගණයක් ආසන්නයේදී වෑන් රථය නතර කරන ලෙසට සිරිවර්ධනයන් රියැදුරු තැන දැනුවත් කළේය. ක්‍රීඩා පිටියක්, පිහිණුම් තටාකයක් සමඟ තවත් ගොඩනැඟිලි කිහිපයක් එම ස්ථානයේ ඉදිකෙරෙමින් තිබිණි. එම ඉදිකිරීම් සිදු කිරීම සඳහා ගැඹුරට ඉවත් කරන ලද පස් ස්ථර අතර චීන වළංකටු සහ පබළු සාධක ප්‍රකටව දිස් විය. ගවේෂකයන් එම සාධක සහ ඉදිකිරීම සඳහා සිදු කළ ගැඹුරු වළවල්වල පාංශු පැතිකඩ හොඳින් නිරීක්‍ෂණය කරන ආකාරය දෙස මම බලා සිටිමි. අනතුරුව ඔව්හු කලපුවට ඔබ්බෙන් වූ උස් බිමේ ඉදිරියට පර්යේෂණ කටයුතු කරගෙන ගියහ. කලපුව දෙසට පැතිරුණු වැලි කඳුවලින් ද ඉපැරැණි මැටි බඳුන් සාධක සොයාගැණිනි. කාර්ස්වෙල්ගේ සිතියමට අනුව බොහෝවිට ඔහු කැණීම් සිදු කර ඇත්තේ මේ ඉසව්වෙන් කිලෝ මීටරයක් පමණ දකුණු දෙසට විය යුතු බව තිලංක සිරිවර්ධනයන් තම සගයන්ව දැනුවත් කරන හඬ මට ඇසිණි.

ලබන සතියේ
මුතු කර්මාන්තයේ තෝතැන්න වූ අරිප්පුවලට අපි ගමන් කළෙමු.


තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment