වස පානය කළ විට දෙව්ලොව යා හැකිද?

634

මේ අවුරුද්දේ ජුනි මාසයේදී කෙන්යාවේ ආගමික ආශ්‍රමයකින් භයානක පුවතක් වාර්තා විය. එනම් දින ගණනක් නොකා නොබී කටින් සෙම පෙරාගෙන සිහි නැති වූ බැතිමතුන් විශාල ප්‍රමාණයක් එම ආශ්‍රමය තුළ සිටින බව ය. කෙන්යානු පොලිසිය විසින් මේ ආශ්‍රමය වටලන ලදි. කටින් සෙම පෙරාගෙන සිහි නැතිවී නන්නත්තාරව සිටි ගණන 65 ක් බව මෙහිදී සොයා ගැනීමට හැකි විය. කෙන්යාවේ නීතිය යටතේ කෙනෙක් අරමුණු සහගත ලෙස නොකා නොබී සිටීම සියදිවි නසාගැනීමට තැත්කිරීමකි. ඉන් පසු මේ පිරිස ට්‍රක්වලට පටවා ගත් කෙන්යානු පොලිසිය ඔවුන් රෝහල්වලට ගෙන ගොස් සේලයින් දී කවා පොවා, කෙළින් සිටගත හැකි වූ වහාම රිමාන්ඩ් කළේය. මේ පිළිබඳ නඩුව තවමත් විභාග කර නැත. සමහර විට සියදිවි නසා ගැනීමට තැත් කළ මේ පිරිසගේ ඇඟ බැඳීමට උසාවිය පියවර ගන්නවා ඇත. නො එසේ නම් සතියකට හෝ දෙකකට ඔවුන්ට හිරේ යෑමට සිදුවනවා ඇත. මෙහි ඇති වැදගත්ම කතාව පෙර කී කට්ටිය සියදිවි නසා ගැනීමට තැත් කිරීම නොවේ. ඔවුන් එසේ තැත්කිරීමට හේතුව ය. දෙවියන් වෙනුවෙන් යාච්ඤා කොට පින් දී සියදිවි නසා ගත් විට ඒකා දිව්‍යලෝකයේ යන බව ඉහත සඳහන් පිරිසට උගන්වා තිබේ. ඒ ඉගැන්වීම කර තිබුණේ එම ආශ්‍රමයේ ප්‍රධානියා වූ ආගමික කල්ලියක නායකයෙකි. කොහොමත් ඒ වන විට මිනිහා මෙලොව හැර ගොස් සෑහෙන දවස් ය. දෙවියන් සමඟ යෑම සඳහා නිරාහාරව සිට ඔහු මියගොස් තිබිණ. ඊළඟට ඉතුරුව සිටියේ එම ආශ්‍රමයේ දෙවැන්නා වූ පෝල් මැකැන්සි නමැති පාස්ටර් කෙනෙකි. ඒ වන විට නිරාහාරව තබා දෙව්ලොව යැවීම පිණිස ඔහු තවත් කට්ටිය එකතු කරමින් සිටියේය. කෙන්යානු පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ශකෝලා නමැති වනාන්තරයක් කෙන්යාවේ තිබේ. පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව මේ වනාන්තරයේ එක්තරා කොටසක් හාරන ලදුව 318 දෙනකුගේ මළසිරුරු හමුවිය. පෝල් මැකැන්සි පාස්ටර්තුමා දිව්‍යලෝකයට යනු පිණිස නොකා නොබී සියදිවි නසාගත් අයගේ මළ සිරුරු වළදමන ලද්දේ එතැනය. 2021 සිට පාස්ටර්තුමා බැතිමතුන් දිව්‍යලෝකයට යවනු සඳහා ඒජන්සියක් ඇර තිබූ අතර, මේ වන විට එම ඒජන්සිය හරහා දෙව්ලොව යනු පිණිස සියදිවි නසාගෙන තිබුණු පුද්ගලයන් ගණන 613 කි.

ඉහත සඳහන් කොටස අප විසින් ලියන ලද්දේ දෙව්ලොව යෑම සඳහා සියදිවි නසාගත් පිරිසක් ගැන පසුගිය සතියේදී ලංකාවෙන් ද වාර්තා වූ නිසා ය. මේ කතාවේ ප්‍රධානියා රුවන් ප්‍රසන්න ගුණරත්නයි. ඔහු කිසියම් පෙරදිග ආගමික දර්ශනයකට අනුව දේශන පවත්වමින් ශ්‍රාවකයන් විශාල පිරිසක් එකතු කරගෙන සිටි කෙනෙකි. ඔහු නිතරම අනිත්‍යය දේශනා කළ අතර මෙලොව ජීවත්වීමෙන් වැඩක් නැති බවත්, පරලොව ජීවිතය බෙහෙවින් විචිත්‍ර බවත් පෙන්නුම් කර දුන්නේ ය. රුවන් ප්‍රසන්නගේ එම දර්ශනයට වඩා ඔහුගේ ක්‍රියාව මෑතක් වනතුරු වෙනස් ය. ඔහු සිටියේ පොලොන්නරුවේ ය. ඔහුටත් තවත් සිව්දෙනකුගෙන් සමන්විත ඔහුගේ දරු පවුලට අයත් දේපළ පොලොන්නරුවේ විය. ලංකාවේ ජීවත් වී වැඩක් නැති බව සිතමින් සිටි රුවන් ප්‍රසන්න මීට මාස කීපයකට පෙර තමන් සතු දේපළ විකුණාදමා කොට්ටාවේ මාකුඹුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගත්තේ ය. ඔහු ඒ සඳහා ගෙවූ මාසික කුලිය රුපියල් 1,75,000 කි. රුවන් ප්‍රසන්න කොට්ටාවට පැමිණියේ සිය පවුලත් සමඟ යුරෝපයේ රටක පදිංචියට යනු පිණිස ය. එනම් පරලොව යන ලෙස සිය අනුගාමිකයන්ට උපදෙස් දෙන අතර ඔහු සිටියේ පිටරට යන අදහසින් ය. මේ නිසා ඔහු මානසික රෝගියකු ලෙස අපට හඳුනාගැනීමට සිදුවේ. මීට දින කිහිපයකට පෙර උග්‍ර වසක් පානය කර ඔහු මළේ ය. ඊළඟට එම වසම පානය කර ඔහුගේම බිරිඳත්, දියණියෝත් දිවි නසා ගත්හ. එතැනින් නොනැවතී ඔහුගේ අනුගාමිකයෝ හතර දෙනෙක් ද එම වසම පානය කර සියදිවි නසා ගත්හ. අන්තිමට වහ බීපු එකා බේරුණ අතර මිනිහා දැන් රෝහල්ගතව සිටී. සියදිවි නසාගැනීමට තැත් කිරීම වරදක් ලෙස සලකා එයට එරෙහිව නීති මගින් කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් මේ රටේ තිබිණ. එහෙත් 1994 න් පසු එම නීතිය අහෝසි කරන ලදි. එයට හේතුව සියදිවි නසා ගැනීමට තැත්කර බේරුණු එකාට දඬුවමක් දුන්නොත් එය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් හා සමාන කාරණයක් වන නිසා ය. මිනිහෙකු බොහෝ විට වස බොන්නේ මැරෙන්නටම ය. එහෙත් එම වස වර්ගයේ කටුක බව නිසා සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියම වේදනා දෙන්නට පටන් ගත් විට ඒ මිනිහා බිම පෙරළී කෑ ගසමින් නැවත ජීවිතය ඉල්ලා මරහඬ තලන්නට පටන් ගනී. ඉන් පසු පොල්කිරි පොවා වමනය කිරීමට සලස්වා කෙසේ හෝ ඒකා ගොඩ ගත්තේ යැයි සිතමු. මේ වන විට සියදිවි නසා ගැනීමට තැත් කිරීම සඳහා වූ වේදනාකාරී දඬුවම ඔහුට ලැබී අවසාන ය. සියදිවි නසාගැනීමට තැත් කිරීමේ වරදට දඬුවම් දීමේ නීතිය යටතේ ඔහුට තවත් දඬුවමක් දුන්නොත් එම දඬුවම සමාන වන්නේ දරුණු පඩියත් සමඟ ලැබෙන දරුණු බෝනස් එකකට ය. දැන් අපි නැවතත් අපේ නිමිත්ත දෙසට හැරෙමු. එක් එක් ආකාරයේ විකාර ආගමික කල්ලි මගින් දිව්‍යලෝකයට යෑම සඳහා සියදිවි නසා ගැනීම ප්‍රයෝජනවත් වන බව බැතිමතුන්ට ඉගැන්වූ විට එමගින් විශාල අවුලක් හට ගනී. සාමාන්‍යයෙන් ජනගහනය අඩුවීම රටකට හොඳ නමුත් එසේ අඩුවන ජනගහනය සියදිවි නසා ගැනීමෙන් සිදුවන අඩුවක් නම් එය රටේ චිත්ත ධෛර්යයට හොඳ නැත. හැම මිනිහෙක්ම උත්සාහ ගන්නේ ජීවත් වීමටය. ඒ අතරේ කොහේ හෝ සිටින පිස්සු යකෙකු පැමිණ ජීවත් වීම වෙනුවට මරණය ප්‍රවර්ධනය කළොත් එමගින් විශාල සමාජ පරිහානියක් හට ගනී. රුවන් ප්‍රසන්න වස පානය කළේ දෙව්ලොව යෑමට නම් ඔහුට දිය යුතු හොඳම දඬුවම මරණ දණ්ඩනය වේ. දැන් ඔහුට එය ලැබී අවසන් ය. අපට දුක ඔහුගේ අනුගාමිකයන් ගැන ය.

advertistmentadvertistment
advertistmentadvertistment