සංවිධානාත්මක අපරාධ කල්ලි එකතුවී ගොඩනැගුනු උප සංස්කෘතියට පාතාල ලෝකය (Under World) කියා කියයි. මේ බොහෝ අපරාධ කල්ලි නඩත්තු වන්නේත් තම එදිනෙදා ඕනෑකම් පිරිමහ ගන්නේත් අධික ලාභ ලබන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබෙන මුදල් වලිනි. ඒ නිසා ගංජා කේරළයෙන් එන ගංජා (කේ ජී) හෙරොයින් අයිස් කොකේන් උත්තේජක සහ අවපීජක කාණ්ඩයේ විවිධ මත් පෙති මෙන්ම කසිප්පු සහ විදේශයෙන් මෙරටට හොරෙන් පන්නන මද්‍යසාර වර්ගද අද සමාජයේ ඉතා සුලබව පැතිර තිබේ. ඒවා ජාවාරම් කරන්නන් මෙන්ම භාවිත කරන්නන්ද අප සමාජයේ අනන්තය අප්‍රමාණය. මේ අතරින් වඩාත්ම හානිකර මත්ද්‍රව්‍ය වන්නේ හෙරොයින් සහ අයිස් වන අතර මේවා භාවිත කරන්නන්ගේ තත්ත්වය සහ අවසානයේ ඔවුන්ට අත්වන ඉරණම ගැන අමුතුවෙන් විස්තර කරන්නනට අවශ්‍ය නැත.

හෙරොයින් ලෝලීන්ම ලක්ෂයක්

අපේ රටේ හෙරොයින්වලට ඇබ්බැහිවූවන් ලක්ෂයක් සිටී. ලක්ෂයක් හෙරොයින් භාවිත කරන විට ඒ ලක්ෂයට අමතරව ඔහු හෝ ඇය වටා සිටින තවත් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් නිකරුනේ අසහනයට පීඩාවට පත්වෙයි. මත්ලෝලියෙකු සිටින නිවසක තත්ත්වය ගැන වැඩිදෙනා නොදන්නවා වුවද මත්ලෝලීන් සහ ඔවුනගේ පවුල්වල අය සමග මුහුණට මුහුණලා වැඩ කරන අපි ඔවුන් විඳින දුක හොඳාකාරව දනිමු.

මෙයට වසර හතළිහකට පමණ පෙර එනම් 1983 දී අප පාසල් යන කාලයේ තිබූ සංඛ්‍යාලේඛනවලට අනුව එකල වාර්තා බලද්දී ලංකාවටම සිටියේ හෙරොයින් මත්ලෝලීන් දෙදාහකට ආසන්න පිරිසකි. භාවිත කරන්නන්ගේ ප්‍රමාණය මෙසේ පනස් (50) ගුණයකින් වැඩිවීමට සෝචනීය කරුණකි.

P-10 (පී 10 කණ්ඩායම්)

මත් භාවිතය වැඩිවීමට සහ අඩු නොවීමට බලපාන ඉංග්‍රීසි පී (P) අකුරින් පටන්ගන්නා කණ්ඩායම් 10ක් ගැන අපි මෙයට පෙරද ලියා ඇත්තෙමු. මත්ද්‍රව්‍ය නිෂ්පාදකයන් සහ බෙදාහරින්නන් (Producers and Peddlers) කෙලෙස ඒවා වෙළෙඳපලට එව්වද පොලිසිය බන්ධනාගාරය දේශපාලනඥයන් නීතිය සැලසුම් කරන්නන් සහ ක්‍රියාවට දමන්නන් නීතිඥයන් දෙමාපියන් නිවාරණකරුවන් ජනමාධ්‍යකරුවන් පූජකයන් (Police,Prisons, Politicians, Press and Propaganda, Priests, Preventers and Parents) වැනි අය තම රාජකාරිය හරියට ඉටු කළානම් මෙලෙස මත්භාවිත කරන්නන්ගේ ප්‍රමාණය දෙදාහේ සිට පනස්දාහ දක්වා ඉහළ යන්නේ නැත. මට මේ ගැන කෙටියෙන්ම කියන්නට තියෙන්නේ මත් ගැටලුව ඉදිරියේ මේ දක්වා ඉහත සඳහන් සියල්ලෝම අසමත් (Fail) බවයි.

යුක්තිය Justice

යුක්තිය නමැති දැතිරෝදයේ කටුව කැරකෙන්නේ ඉතාම සෙමින්ය කියා කතාවක් තිබේ. එමෙන්ම මහා ප්‍රඥාවන්තයා ලෙස සලකන සාලමොන් රජු විසින් රචිත දේශනාකාරයා නමැති පොතේ දිව්‍ය ආණ්ඩුවේ ගුප්තභාවය යන පරිච්ඡේදයේ ඔහු මෙසේ ලියා ඇත.

“නපුරු ක්‍රියාවක විරුද්ධව යුක්තිය ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීත වන්නේය”

අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත සෙනඟක් දුක් විඳින මේ ගැටලුවට යුක්තිය කවදා උදාවේදෝයි ජනතාව බලා සිටින්නේ බොහෝ කාලයක් තිස්සේය.

මත් ජාවාරම නැති කිරීම

රටේම කුඩු නැති වෙනකොට ජාවාරම්කරුවන්ට මොකද වෙන්නේ?

මත් ජාවාරම නැති කිරීමේ උපාය මාර්ග දෙකක් මම දනිමි. ඉන් පළමුවැන්න සමාජයට මත්ද්‍රව්‍ය සපයන මාර්ග අවහිර කිරීම හෝ අඩාල කිරීමයි. එනම් සැපයුම අවම කිරීමයි. :Supply Reduction – Blocking and disturbing the Supply System ) මා මෙහිදී අවම අවහිර හෝ අඩාල යන යෙදුම භාවිත කළේ නවතා දැමීම හෝ නැත්තට නැති කිරීම යනු කළ නොහැකි ප්‍රායෝගික නොවන දෙයක් බව දන්නා නිසාය. නෙගටිව් සිතනවා නොවේ. මෙතෙක් මත්ද්‍රව්‍ය සියයට සීයක් නැති කල කිසිම රටක් මෙලොව නැත. මත්පැන්වලට පසු කංසා ඉන්පසු අබිං පසුවට හෙරොයින් කොකේන් සහ මෑතකදී එල් එස් ඩි ස්පීඩ් ක්‍රැක් මැන්ඩි අයිස් වැනි දේ පෝලිමට කල එලි බැස්සා සේ මේ සියල්ල නැති කලත් තව අලුත් අලුත් මත්ද්‍රව්‍ය ලොවට බිහිකරන්නට හැකිය.

දෙවන ක්‍රමය වන්නේ ඉල්ලුම අවම කිරීමේ (Demand Reduction) ක්‍රමයයි. ඉල්ලුම අවම වූ කල මුලින්ම වන්නේ නිෂ්පාදනයේ මිල පහත වැටී බඩු සුලබ වීමයි. දෙවනුව හොඳ වෙළෙඳපළක් නොමැති කමින් නිෂ්පාදනය ඉබේම නැවතී සැපයුම අඩාල වෙයි.

මිනිසුන් කියන කතා

“අයියෝ බොස් ලොක්ක තෝරු මෝරු අතෑරල හාල්මැස්සන්ට කූනිස්සන්ටනේ ගහන්නේ.. ඇයි එයා ලොකු මුදලාලිලාට බයද නැත්නම් ජරාව කනවද ?”

“මේක තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි. සෝඩා බෝතලේ කැඩුව වගේ සද්දේ විතරයි”

“බොන එවුන් අල්ලල මේක නවත්තන්න පුළුවන්ද? ගෙන්නන එවුන්නේ අල්ලල මරල දාන්ට ඕනි”

“ඕව ගෙන්නන්නේ දේශපාලනඥයෝ. පොලිසිය උන්ව රකිනව ..උන්වයි ඉස්සෙල්ල අල්ලන්න ඕනි”

“ඉස්සර කැටයක් (පැකට් විස්සක බන්ඩලයක්) වික්කම ලැබෙන ගාන අද කෑලි පහක් වික්කම ලැබෙනවා. මෙහෙයුම නිසා බඩු වල මිල එකට විස්සක් ගණන් ගිහින්”

මෙවැනි කතා අද සමාජයේ අනන්තවත් අපට අසන්නට ඇත. එමෙන්ම මෙම මෙහෙයුමට සුබ පතන දිනෙන් දින එයට සහය දෙන විශාල ජන කොටසක්ද ඇති බව මෙහිදී කිව යුතුය. මත් ජාවාරමුන් ගැන නිවැරදි ඔත්තු දීමටත් ඔවුන්ව අල්ලා දීමටත් මත් ජාවාරමේ අග මුල සියල්ල එළි කිරීමටත් කැමති මිනිසුන් සිය දහස් ගණනක් ඇති අතර ඔවුන් එසේ නොකරන්නේ ඔවුනට සමහර පොලිස් ස්ථාන ගැන සහ දෙපැත්ත කන පොලිස් නිලධාරීන් පිළිබඳ ඇති සැකය නිසාය. කුඩු ජාවාරම්කරුවන්ගෙන් යැපෙන ඔවුන් සමග ගනුදෙනු කරන දූෂිත පොලිස්කාරයන් සෑම පොලිසියකම වාගේ සිටින නිසා බහුතරයක් මිනිසුන් අතර පොලිසි ගැන ඇත්තේ සැකයකි පිළිකුළකි.

“කුඩ්ඩො හදන්න ඉස්සෙල්ලා ලොක්කට කියන්න පොලිසිය හදල ඉන්න කියල සර්”

මට එසේ කීවේ මා යම් කටයුත්තක සඳහා ගිය සතියේ දිනක හෝමාගම පොලිසියට ගිය අවස්ථාවේදී එහි කූඩුවේ සිට නිදහස්ව එලියට බහින තරුණයෙකි. ඔහුට සෑහෙන්න සිත රිදී තිබුණ බව මට දැනුනි. ඔහු කුමන අරමුණකින් එලෙස කීවාදැයි මා නොදනිතත් අප රටේ බොහෝ පොලිසිවල මත්ද්‍රව්‍ය බොන මත් ජාවාරමුන්ට වැඩ කරන ඔවුන්ට ඔත්තු දෙන කල දුටු කල හැකි සෑම අයෙකුගෙන්ම ජරාව කන පොලිස්කාරයන් සිටින බව මම දනිමි.

අද වෙන විට මත්ලෝකය

දෙසැම්බර් දාහත් වැනිදා ඇරඹුනු යුක්තිය මෙහෙයුමට වයස අද වන විට යන්තම් දින විස්සකි. ඒ දින විස්ස තුළ සමාජයේ මත් සංස්කෘතිය තුළ සාධනීය වෙනසක් ඇතිවී තිබෙන බව අපට පෙනේ. පොඩි පොඩි මාළුන්ට ගහනවා යැයි කීවාට ලොකු මාළුන්ටද අත තියා ඇති බව පෙනෙන්නේ දෙහිවල අනේපිඬුට” කළ දේ නිසාය.

අනේපිඬු යනු දෙහිවල සිටින මහ පරිමාණ කුඩු ජාවාරම්කරුවෙකු ලෙස පොත්වල සටහන්ව තිබේ. මුස්ලිම් ජාතියෙකු වුවද ඔහුට ඒ නමින් ගමේ අය අඳුන්වන්නේ ඔහු වෙත ආධාර ඉල්ලාගෙන එන සැමට නොමසුරුව උදව් කරන නිසාය. රුපියල් විසිපන්දාහක් පමණ වටිනා හාල්, පිටි, සීනි, පරිප්පු සහිත සලාක මල්ලක් සහ මුදල් නෝට්ටු කීපයක්ද දෙන නිසා අවට වාසීන් ඔහුට පට්ට ආදරේය.

“කුඩු නෙවේ මොනව වික්කත් මොන ජාතියක ආගමක එකෙක් වුනත් ඊළඟ පාර ඡන්දෙ ඉල්ලුවොත් අපි දෙන්නේ බොසාටයි”

කියා කියූ මිනිස්සු දෙහිවල වැල්ල පැත්තේ අනන්තය අප්‍රමාණය. ඒ තරමටම ඔහුගේ කුඩු ව්‍යාපාරය සහ කළු සල්ලි බලවත්ව තිබුනි.

පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය පිස්සු වැටුණු බල්ලන් සේ කරන කුඩු මෙහෙයුම් නිසා කුඩ්ඩන්ගේ මොළේ රත්වී හීන් දාඩිය දමා ඇත. ඊටත් වඩා බියට පත්වී ඇත්තේ වීදි මට්ටමේ සිල්ලරට “පැකට් බිස්නස්” කරන සුළු පරිමාණයේ වෙළෙන්දන්ය. මෙය බිම් මට්ටමේ සිට කෙමෙන් ඉහළට ගලා එන මෙහෙයුමක් බව පෙනෙන නිසා මහ පරිමාණයේ ජාවාරම්කරුවන්ටද දැන් රත්වීගෙන එන පාටක් පෙනේ. ඔවුන් හතර වටේ මුදල් විසි කරමින් මෙහෙයුම් නවත්වන්නටත් නිලධාරීන් තම අතට ගන්නටත් උත්සාහ කරනු ඇත. සමහරු රටින් පැනගොසිනි.

“ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ

ලෝවැඩ සඟරාවේ එන “ළිපගිනි මොළවන තෙක් දිය සැළියේ . සැපයක් යයි කකුළුව දිය කෙළියේ” කවියේ කියන පරිදි තාමත් අමාරුවෙන් කුඩු උරණ රට වටේ ගොසින් දහස් ගණන් දී කුඩු පැකට් මිලදී ගන්න කක්කුට්ටන් පිරිසක්ද අද සමාජයේ සිටී. විකුණන්නෝද එසේමය. මෙතරම් හානියක් මෙතරම් විනාශයක් රටට සමාජයට අනාගතය බාර ගන්නට සිටිනා තරුණ පරම්පරාවට සිදුවෙද්දී මේ ජඩයන් තාමත් සිතන්නේ කෙසේ හෝ කුඩු ටිකක් විකුණා ඔවුන්ගේ මඩිය තර කර ගැනීමටයි.

රටේ පවතින තත්ත්වය තේරුම් අරගත් මහ පරිමාණයේ කුඩු ජාවාරම්කරුවන් දැනට තාවකාලිකව තම සැපයීම් නවතා දමා ඇත. දවසක් දෙකක් නොව තව අවුරුදු ගාණකට නොහොත් ජීවිත කාලයටම ඇති වන්නට මුදල් හොයාගෙන ඇති නිසා උන්ට හදිස්සියක් කුලප්පුවක් නැත. උන් බලා සිටින්නේ කවදා හෝ මේ සෝඩා බෝතල් මෙහෙයුම අවසන් වන තුරු හෝ මෙහෙයුමේ නියමුවන්ට කරදරයක් වනතුරුයි. එසේවනු පිණිස විවිධ බොරු ප්‍රචාර දුර්මත ඔවුන් ජනගත කරන්නේ කුලියට ලියන සමාජ මාධ්‍ය ජාල කරුවන් හරහා සහ රුපියල් කීපයකට කුඩු පැකට් එකකට ඕනිම දෙයක් කරන නොමිනිසුන් ලවායි.

ඉහළ පෙළේ මහ පරිමාණ මත් කුඩු ජාවාරම්කරුවන් බහුතරයක් ඉන්නේ රටේ කුප්‍රකට දේශපාලනඥයන්ගේ ආරක්ෂාව රැකවරණය සෙවණේ බව සහ තවත් පිරිසක් රටෙන් පිටව ඩුබායි අබුඩාබි මැලේසියාව ඉන්දියාව එංගලන්තය සහ තවත් එවැනි යුරෝපීය රටවල් වල බවත් නොරහසකි. ඔවුන්ව ආරක්ෂා කිරීමට තවත් බොහෝ අය ඇත. නමුත් දුක් විඳින්නේ සරණක් නැති පෞරුෂයේ ගැටලු සහ මනසේ විවිධ අක්‍රමකතා සහිත මත් ලෝලීන්ය.

මේ දවස්වල සිල්ලරට පැකට් බිස්නස් කරන උන් ඇත්තේ අසීරු අඩියයි. ලොකු වෙළෙන්දන්ගෙන් උන් ලබා ගත් තොග ඉක්මනට විකුණා අවසන් කළ යුතුය. දිගු කලක් බිස්නස් නොකර සිටියොත් ජීවත් වන්නට තැන්පත් මුදලක්ද නැත. ඒ නිසා ඔවුන් තමා සතු කුඩා තොග අවසන් කර ගැනීමට මාරාන්තික සටනක යෙදේ.

අතේ කැටයක් තියාගෙන සාක්කුවේ තව කැට කීපයක් කියාගෙන ඍජුවම කස්ටමර්ට බඩු ලබාදෙන ක්‍රමය දැන් අති භයානක නිසා ඒවා දැන් වෙන්නේ නැත. ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ගෙන්වාගෙන කස්ටමර් ඇණවුම් කළ පැකට් එක හෝ දෙක ටොපි කොළයක ඔතා හෝ ටොනික් පියනක දමා පාර අයිනේ ලයිට් කණුවක් හට හෝ කුණු ගොඩක් අයිනේ දමා ගිය ඊසි කෑෂ් ක්‍රමය අද එච්චර ජනප්‍රිය නැත. ඒ වෙනුවට ඔවුන් ගෘප් ඔන්ලයින් ක්‍රමයට මාරුවී ඇත.

මෙයින් වෙන්නේ මත්ලෝලීන් කුඩා කණ්ඩායමක් එකතු වී මුදල් එකතුකොට ඒ මුදල එක් අයෙකුගේ ගිණුම හරහා ඔන්ලයින් ට්‍රාන්සර් ක්‍රමයට කුඩු වෙළෙන්දාගේ ගිණුමට බැර කිරීමයි. එවිට මඳ වේලාවකින් ජාවාරම්කරු තම නියෝජිතයාට ඇමතුමක් දී ඇණවුමේ විස්තර ලබාදෙයි. එවිට නියෝජිතයා නිසි ඇණවුම සකසා ආරක්ෂාකාරී අන්දමින් විශ්වාසවන්ත කස්ටමර් කෙනෙකුට තම ගෝලයෙකු ලවා අතටම ගෙනත් බාර දෙයි.

සික් එක එදා සහ අද

ඇත්තම කිව්වොත් බහුතරයක් කුඩු ලෝලීන් මේ මෙහෙයුමට කැමැත්තක් දක්වයි. ඔවුන් කියන්නේ අපව අල්ලනවා වගේ විකුණන අයවත් අල්ලා දිගුකාලයකට හිරේ දැම්මොත් ඔවුනටද නිදහසේ සිටිය හැකි බවයි.

“දැන් තියෙන්නේ කුඩු නෙවෙයි මහත්තයෝ සම්පූර්ණ කෙමිකල් අපිත් ඔය බොන්නන් වාලේ පුරුද්දට බොන්නේ”

“ඉස්සර කුඩු සික් එකට මෙහෙම ඉන්න බෑ බෙල්ල කපාගෙන මැරෙන්නයි හිතෙන්නේ. ඒ තරමට ඇඟේ අමාරු. ඒකට දැන් හිතේ කිචියටයි මතක් වෙද්දි දැනෙන ෆීලිං එකටයි බොන්නේ කිසිම ආතල් එකක් නෑ”

ඔවුන් කියන්නේ ඇත්ත බව අපි දකිමු. මෙයට කලකට පෙර අප වෙත පුනරුත්ථාපනය වීමට එන මත්ලෝලීයා සික් එකට (මතින් වෙන් වීමේදි ඇතිවන විරමණ ලක්ෂණවලට) අපට නොදෙන වධයක් නැත. නොකරන දෙයක් නැත. දඟලයි. කෑ ගසයි උඩ පනී පැන ගන්න උත්සාහ කරයි. කුඩු හෝ බෙහෙත් ඉල්ලා කරදර කරයි. නාහෙන් කටෙන් සෙම හලයි හොටු පෙරේ දහඩිය දමයි ඉබේ ශුක්‍රානු පිටවෙයි.

සමහරු අත පය කපා ගනී සියදිවි නසා ගන්නට උත්සාහ කරයි. (බොහෝවිට ඔවුන් එසේ කරන්නේ අප ඔවුන්ව ආයතනයෙන් මුදා හරී කියා සිතාය.) සික් එක යනු වැඩිපුරම මානසිකව බලපාන තත්ත්වයක් වුවද දිගුකාලීනව යම් රසායනික සංඝටකයකට හුරු වූ අයෙකුට ඉන් ඉවත්වීමේදී එක්තරා දුරට විරමණ ලක්ෂණ ඇතිවන බවද අප පිළිගත යුතුය.

නමුත් දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. මත්ලෝලියාට තනිකරම ඇත්තේ මානසික වහල් කමකි. ඔවුන්ට ඇත්තේ මත්වීමට ඇති ආසාව සහ මතකයට ඇති ඇබ්බැහියයි. ඔවුන් කුඩු ඉරූ ස්ථාන එකට සිටි මිතුරන් ඔවුන් කී කල දෑ අවට පරිසරය ගැන සිතේ තබාගෙන යලි එම තැනට ගොස් මත් කුඩු ඉරීම ඔවුන් වින්දනයක් සේ සලකති. මෙයට කියන්නේ Urge Desire and Memory addictions කියායි.

ඉස්සර නම් මත්ලෝලියාට මත්ද්‍රව්‍ය නැති විට කෑමක් කට ළඟට කිට්ටු කරන්නට නොහැක. කෑම දකිද්දී වමනය කරයි. සති ගාණක් යනතුරු නින්දක් අහලකට එන්නේ නැත. නිතර කේන්ති යයි. අනිකා නුරුස්සයි.

නමුත් දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ඔවුන් හොඳට කෑම කයි. නිතර නිතර තව කෑම සොයයි. ඇඳට වැටුනු ගමන් නින්ද යයි. හොඳට වැඩ පල කළ හැක. ඇත්තේ මා කලින් කියූ මත්වීමට ඇති ලොල් බව සහ මතකයේ ඇබ්බැහියයි.

සමාජයේ පවතින කුඩු හිඟය නිසා ප්‍රතිකාර පතා මේ දිනවල පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට මත්ලෝලීන් ඇදෙන්නේ බුරුතු පිටිනි. ඒ අය හැමෝම බඳවා ගැනීමට අපට හැකියාවක් නැත. අනෙක් කාරණාව වන්නේ ඔවුන් අප වෙත එන්නේ අවංකව මතින් මිදීමට වඩා පොලිසියට හසුවනවාට ඇති බයට සහ වීදියේ මිලදී ගන්නට හෙරොයින් නැති නිසා බව අපි දනිමු.

කෙසේ වෙතත් මොවුන් වෙනුවෙන්ද රජය යමක් කළ යුතුය. එය පොලිසියේ වගකීමක් නොවුණත් මත්ලෝලීන් ගැන හොඳින් දන්නා වැඩබලන පොලිස්පතිට මා පසුගිය දින මත්ලෝලීන් පුනරුත්ථාපනය සඳහා ප්‍රජාපාදක ප්‍රතිකාර ක්‍රමවේද යෝජනාවක් බාර දුන්නේ ඒ නිසාය.

“යම් හෙයකින් අප රටින් මත් ජාවාරම තුරන්ව ගියොත් සිල්ලර මට්ටමේ ජාවාරම් කරුවන්ට කුමක් වෙයිද? ඔවුන් ජීවත්වන්නේ මොනවා කරලාදැයි?”

මගෙන් එක්තරා ජනමාධ්‍ය මිතුරෙකු ඇසීය. සාමාන්‍යයෙන් ඔහුට දීමට ඇති සරලම පහසුම පිළිතුර නම් ‘මෙච්චර වැරදි කරපු උන් ජීවත්වන විදිය මට අදාළ නෑ හිරේ දාලා උපරිම දඬුවම් කරන්න ඕනි” යන්නයි. නමුත් මානව හිතවාදීන් මෙන්ම රජයද මේ ගැන ගැඹුරින් සිතිය යුතුය.

මත්කුඩු ජාවාරමට සහ අවර ජඩ ක්‍රියාවලට අමතරව මුන් දන්නා වෙනත් රස්සාවක් නැත. ඒ නිසා ඔවුන් දඬුවම් ලැබ යළි සමාජයට ආ පසුත් යළි කරන්නට උත්සාහ කරන්නේ මත් කුඩු ජාවාරම හෝ වෙනත් අනීතික කටයුතුයි. මොවුන්ගෙන් සමාජය බේරා ගැනීමට නම් ඔවුන් සදාකාලිකව හිරේම තබා ගත යුතුය. එය ප්‍රායෝගික නොවේ. එනිසා බන්ධනාගාර තුළදී ඔවුනටද යම් පුනරුත්ථාපනයක් ආකල්ප වෙනස් කිරීමක් කළ යුතුය. (මහා පරිමාණ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන්ට නම් හැකි උපරිම දඬුවම් දිය යුතුය. ජේසුස්වහන්සේ කියා ඇති පරිදි ඔවුන්ගේ බෙල්ලේ ඇඹරුම් ගලක් ගැටගසා මිනියවත් නොපෙනෙන පිණිස ඈත මුහුදේ ගිල්විය යුතුය.

සාමාන්‍ය ජනතාවට සදාචාර සමාජයට මෙන්ම කුඩ්ඩන්ට උදව් කළ සමහර ජඩ දේශපාලනඥයින්ට කුඩු සල්ලි වලින් යැපෙන සමහර පොලිස්කාරයන්ට නීතිය කරවන අයට බන්ධනාගාර නිලධාරීන්ටද දැන් මේ කුඩු ජාවාරමුන් ඇණයක් බාධකයක් වී ඇත. ඔවුන්ද සිත යටින් බයවී සිටී. කුඩු ගෙන්වන කුඩු විකුණන ලොකු ලොකු තෝරු මෝරුන්ට ඇඩ්‍රස් නැතිවෙන්න ගහනවා නම් එය ඔවුන්ට සැනසීමකි. එවිට ඔවුන් සමගම සියලු රහස් වැළලී යනු ඇත.

මිත්‍ර ශ්‍රී කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment