කඩල කාරයාගේ සිංහල අවුරුද්ද

1504

සිංහල අලූත් අවුරුද්දට තව තෙදිනකට වඩා නැත. මෑත ඉතිහාසයේ ඉතාම නිස්සාර සිංහල අවුරුද්ද මෙය විය යුතුය. මිනිස්සු අතේ සතේ නැතිව සියදිවි නසාගනු පිණිස කඹයක් හෝ වස මිලට ගැනීම සඳහා විදිහක් නැතිව ලත වෙති. සාම්ප‍්‍රදායික සියදිවි නසා ගැනීමේ ක‍්‍රම වලින් ඔබ්බට ගොස් අලූත් ක‍්‍රම සඳහා යොමු වීමට සාමාන්‍ය ජනතාව තුළ බියක් තිබේ. ඒ බිය නිසා සිය දිවි නසා ගැනීම වැළකී මිනිස් ජීවිත බේරීම ගැන අප තුළ සහනදායි හැඟීමක් පවතී. සිය දිවි නසා ගැනීම යනු ප‍්‍රශ්නයට උත්තරය නොවේ. යමෙක් සියතින් දිවි තොර ගැනීමෙන් පසු ප‍්‍රශ්නය එහෙමම පවතින අතර එය අතින් අතට මාරුවී ගොස් තවත් කෙනෙක් අභියස සිටගනී. අලූත් අවුරුද්දට පෙර සහන මල්ලක් ගෙනෙන බව කී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ දැන් එම තනතුරේ නැත. අලූත් මුදල් ඇමැති වූ අලි සබ්රි පැය 24 ක් තුළ තනතුර හැර දමා පැන දිව්වේය. කැබිනට් මණ්ඩලයක් නැතිව රටක් රමබ කළ හැකිද? ඔය අගේට රමබ වෙන්නේ. මෙය ලියන මොහොතේදීත් මේ රටේ තිබුණේ කිසිම ඇමැති කෙනෙක් නැති පාර්ලිමේන්තුවක් පමණකි. ඇමැතිවරුන් නොසිටියේ යැයි කියා රටේ ගමන නැවතී නැත. අප මෙහිදී රටේ ගමන ලෙස හඳුන්වන්නේ රටේ ඉදිරි ගමන නොව රටේ එදිනෙදා එක වේලක් හෝ කා ජීවිතය රැක ගැනීමය. අපට එක පැත්තකින් මෙවැනි කාරණයක් සිතෙයි. මේ අර්බුදය ස්ථිර වශයෙන්ම එන්නට තිබූ අර්බුදයකි. කොයි ලොක්කා හිටියත් එය එන එක වැලක්වීමට බැරිය. ගෝඨාභයගේ අවාසනාවට අර්බුදය පැමිණෙන විට එතැන සිටියේ ඔහුය. සමහරවිට මේ ටිකට් එක සජිත්ට රනිල් ට හෝ සරත් ෆොන්සේකා ට ඇදෙන්නට තිබිණ. එහෙත් ටිකට් දිනුම් අදින ලද අවස්ථාවේදී එය ඇදී තිබුණේ ගෝඨාභයටය. ගෝඨාභයට අස්වෙන ලෙස කියා විපක්ෂය කරනම් ගැසුවේය. එහෙත් ගෝඨාභය තවමත් එහෙමමය. ආණ්ඩුව පෙරළිය යුතු බව සජිත් ලා කීහ. එහෙත් ආණ්ඩුව පෙරලූනේ නැත. එය එසේම පවතී. ශ‍්‍රී ලංකාවේ ආර්ථික කසළ ගොඩ භාර ගැනීමට රනිල් කැමතිත් නැත. සජිත් කැමතිත් නැත. අනුර දිසානායක කැමතිත් නැත. හැබැයි මේ වෙලාවේ මර්වින් සිල්වා පාර්ලිමේන්තුවේ හිටියේ නම් සහ ඔහුට රට භාරදීමට තරම් විකාර තත්ත්වයකට රට පත්ව සිටියේ නම් දෙකක් නැතිව ආණ්ඩුව පිහිටුවීමට ඔහු කැමති වනවා ඇත. මේ අතර හර්ෂ ද සිල්වාට ජනාධිපතිකම දෙන්නැයි කියා හරින් ප‍්‍රනාන්දු විහිළුවක් ද කර ඇත. හර්ෂ ද සිල්වා අර්ථ ශාස්ත‍්‍රඥයෙකි. ප‍්‍රාමාණික උගතෙකි. එසේ යැයි කියා ඔහු බයිට් එකක් කර ගැනීම නොහොබී. හරින් ප‍්‍රනාන්දු බොහෝවිට දී එකෙන්ම හිනා යන විහිලූ කරයි.

මෙවර සිංහල අවුරුද්දේදී ගොඩයනු ඇත්තේ කඩල වෙළෙන්දන් අයිස් වතුර බෝතල් වෙළෙන්දන් සහ වඬේ විකුණන අය පමණි. දිනපතා රටේ තැන තැන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පවතින අතර එවැනි තැන්වලට ගොස් බිස්නස් එකක් කර ගැනීමට කඩල විකුණන අයිස් වතුර විකුණන වඬේ විකුණන වෙළෙඳුන්ට පුළුවන. එහෙත් සිල්ලර කඬේ මුදලාලිට එතැනට ගොස් පාන් සීනි සහල් විකිණීමට නොහැක. එදිනෙදා රස්සාවල් වලට යන අයට උද්ඝෝෂණ වලට සහභාගි වුනා යැයි පඩි ගෙවනු නොලැබේ. මේ අනුව මේ මොහොතේදී මේ රටේ වාසනාවන්තම මිනිහා විය හැක්කේත් යම් තරමකට හෝ සිංහල අවුරුද්ද භුක්ති විඳිය හැකි පුද්ගලයා වන්නේත් කඩල වඬේ අයිස් වතුර වෙළෙඳ ශ්‍රේණියයි. අඩු ගණනේ කඩල වෙළෙන්දා හෝ අවුරුදු කෑම ගැන අප කුහක විය යුතු නැත.

නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ අමාරුම ආණ්ඩුව කළේ 70, 77 කාලයේදී බණ්ඩාරනායක මැතිනිය බව අපි සිතුවෙමු. එහෙත් එක්දහස් නවසිය අසූ ගණන්වල පේ‍්‍රමදාස ආණ්ඩුව බලයට පත්වූ විට අප තුළ වූ එම අදහස අතුරුදන් වී නිදහසින් පසු අමාරුම ආණ්ඩුව කළේ ආර්. පේ‍්‍රමදාස ලෙස සිතීමට අපට සිදුවිය. එහෙත් 2015 යහපාලන ආණ්ඩුව මුහුණ දුන් සංකීර්ණ දේශපාලන කලකෝලහාල දෙස බැලීමේදී පෙර කී ආණ්ඩුවලට වැඩි හිරිහැරයක් සිදුවී නැති බව අපි විශ්වාස කළෙමු. බලාගෙන යනවිට ලංකාවේ වැඩිම හිරිහැර ලැබූ ආණ්ඩුව ලෙස ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වාර්තා පොතට එකතු වන්නේය. මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ සිට අනුභව කළේ දුක් පමණකි. කොවිඞ් 19 වසංගතයත් සමග මේ අර්බුදය පුපුරා යන අතර අද අපට සිදුවී ඇත්තේ එසේ පිපිරූ බෝම්බයෙන් නිකුත් වී අපේ ඇඟට කිඳා බට කැබලි ඉවත් කිරීමටය. රෝහල්වල නිතර ස්ට‍්‍රයික් පවත්නා බැවින්ද බෙහෙත් මිල ඉතා අධික බැවින්ද රෝහල්වල අ්සඑසබට කසිඑ දිග බැවින්ද ඒ බෝම්බ කැබලි අපේ අත් වලින්ම ගලවා දැමීමට අපට සිදුව තිබේ. හරිආකාර ආණ්ඩුවක් මේ මොහොතේදී මේ රටේ නැති කමින් කැබිනට් මණ්ඩලයට වැයවන මුළු මුදලම භාග්‍යයකි. මේ වැඬේ හරියටම සහ දිගටම වැඩ කරනවා නම් කැබිනට් මණ්ඩලයක් නැතිවම රට පාලනය කිරීමට හැකිවනවා ඇත. මේ මොහොතේදී අප නැවතත් කියන්නේ කඩල වෙළෙන්දන් වඬේ වෙළෙන්දන් සහ අයිස් වතුර වෙළෙන්දන් හැර සෙසු අයට මෙවර සිංහල අවුරුද්ද නිකන්ම නිකන් බත් උයන තවත් එක් දවසක් පමණක් විය හැකි බවය.

advertistmentadvertistment
advertistmentadvertistment