නලින් ද සිල්වා(1944 – 2024)

1196

(අකල් මරණයක් යනු කුමක්ද?)

සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වූවද මේ ශතවර්ෂයේ පහළ වූ විශිෂ්ටතම සිංහල බෞද්ධ දාර්ශනිකයා වූද මහාචාර්ය නලින් ද සිල්වාගේ මරණය අකල් මරණයකි. ඔහු මියයන්නේ 80 වැනි වියේදීය. එවැනි මහලු වයසකදී කෙනකුගේ මරණය සිදුවීම අකල් මරණයක් ලෙස ගණන් ගනු නොලැබේ. එහෙත් නලින් ද සිල්වා ගතින් මහලු වුවද ඔහුගේ මොළය තරුණ විය. Paradigms හෙවත් අටුවන් බැසගත් ස්ථාපිතයන්ට පහරදුන් ඔහු නවීන විද්‍යාව දෙකට කඩා ඒ තුළින් උකහා ගත් විඤ්ඤාණවාදය ලෙළවමින් බටහිර උගතුන් සහ මතවාද සංත්‍රාසයට පත් කළේය. තකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර ද සිල්වා යනු බටහිර විද්‍යාව ඉහළින්ම උගෙන මහාචාර්යවරයකු වූ කෙනෙකි. විද්‍යාව පසුකරගෙන ගොස් විඤ්ඤාණවාදයට එළඹීමේදී අප්‍රමාණ ලෙස සමාජයෙන් පහර කෑ නමුදු 80 හැවිරිදි වියේදීත් ඔහු නොසැලෙමින් තවදුරටත් ස්වකීය මතවාද තහවුරු කිරීමෙහි නියුතු විය. නාථ දෙවියන් සම්බන්ධයෙන් ඔහු වෙතින් කෙරුණු ඇතැම් ප්‍රකාශ සමාජය තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. නලින් ද සිල්වා භෞතික විද්‍යාඥයකු වුවද අධ්‍යාත්මික වශයෙන් වෙනම තලයකට ප්‍රවිෂ්ට වී සිටි කෙනෙකි. තමා නාථ දෙවියන් සමග සංඥා හුවමාරු කරගන්නා බව හෙතෙම වරක කීවේය. මෙය බටහිර භෞතික විද්‍යා මතවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ අදහසකි. මහාචාර්ය ද සිල්වා ගණිතය සහ භෞතික විද්‍යාව ඉගෙනගත් විදේශීය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනික මතවාදයන්ට මේ කතාව සම්පූර්ණයෙන්ම පටහැණිය. උතුරු මැද පළාතේ වකුගඩු රෝග පැතිර යන විට එයට හේතුව එම ප්‍රදේශවාසීන් අනුභව කරන සහල්වල ආසනික් තිබීම යැයි මහාචාර්ය ද සිල්වා කීවේය. මේ බව සෙවීම සඳහා කළ පර්යේෂණ මොනවාදැයි විමසන ලද කල්හි මහාචාර්ය ද සිල්වා කියා සිටියේ නාථ දෙවියන් විසින් තමන්ට ඒ බව දන්වන ලද බවය. කව්රුත් මේ කතාව පිළිගත්තේ නැත. ඒත් උතුරුමැද පළාතේ ජනයාගේ වකුගඩු රෝග ගැන විද්‍යාත්මක පරීක්ෂණ කිරීමේදී හෙළිවූයේ ඔවුන්ගේ ශරීරවල ආසනික් විශාල වශයෙන් තිබූ බවය. මහලු වියේදී මරණයට පත්වුවද නලින් ද සිල්වාගේ මරණය අකල් මරණයක් බව අප කියන්නේ මේ නිසාය. ඔහු අවසාන මොහොත දක්වාම සිය මතවාද පැතිරවීමට සහ ඒවා වෙනුවෙන් පෙනී සිටීමට කාලය කැපකළ කෙනෙකි.

පානදුරේ බෞද්ධාලෝක මහා විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළ නලින් ද සිල්වා පසුව කොළඹ තර්ස්ටන් විද්‍යාලයටත් කොළඹ රාජකීය විද්‍යාලයටත් ඇතුළු විය. ඔහු සිය තෘතීයික අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයටත් එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයටත් පිවිසුණි. සාමාන්‍යයෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාලවලට පිවිසෙන තරුණයන් ආපසු එළියට එන්නේ කිතු සමය විසින් හික්මවන ලද මතවාද සහිතවය. එහෙත් නලින් ද සිල්වා එළියට එන්නේ බෞද්ධ දර්ශනවාදියකු සහ ප්‍රතිසංස්කරණවාදියකු ලෙසය. කිසියම් පුද්ගලයකු විසින් දකින දෙය තීරණය වන්නේ එම පුද්ගලයාගේ දැක්මට සාපේක්ෂව බව ඔහු විශ්වාස කළේය. නලින් ද සිල්වා උග්‍ර ජාතිකවාදියෙකි. එහෙත් ඔහු අසවල් ජාතිය සංහාරය කරමු යැයි කියූ ජාතිවාදියෙක් නොවේ. උපාලි පුවත්පත් සමාගමේ විදුසර පුවත්පතට ඔහු විසින් ලිපි දහස් ගණනක් ලියන ලද අතර එමගින් ඔහු ජාතිකවාදී විද්‍යා ලේඛකයෙක් බවට පත්විය. එතැන් සිට නලින් ද සිල්වා සිය සම්පූර්ණ ජීවිතයම වැය කළේ ජාතික වාදය ප්‍රවර්ධනය කරනු පිණිසය. නලින් ද සිල්වා සෑම විද්‍යාත්මක මතවාදයකටම බෞද්ධ සමීකරණයක් ආදේශ කළේය. මෙහිදී ඉන්දියාවේ විසූ සිරිනිවාස රාමනුජන් (1887 – 1920) අපට සිහිපත් වෙයි. යුරෝපීයයන් පිළිගැනීමට අකැමැති වුවද රාමනුජන් යනු මධ්‍යකාලීන යුගයෙන් පසු ලෝකයේ බිහිවූ විශිෂ්ටතම ගණිතඥයා ය. ඔහු ගණිත සමීකරණ ලක්ෂ ගණනින් ලියූ අතර ඒවාට විසඳුම් ද ලබාගත්තේය. රාමනුජන් ද විඤ්ඤාණවාදියෙකි. ඉතා දුෂ්කර සමීකරණ විසඳීමෙන් පසු ඔහු කියා සිටියේ ඒවා විසඳන ලද්දේ තමන් විසින් නොව තමන්ගේ චිත්ත සන්තානයට ආවේශ වූ දෙවියන් වහන්සේ විසින් බවය. සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් ගැන නලින් ද සිල්වා විශ්වාස කළේය. මිනිසුන් කරන සද්කාර්යයන් පිටුපස සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ අප්‍රමාණ සහයෝගය ඇති බව ඔහු සිය ලියවිලිවල සඳහන් කළේය. නලින් ද සිල්වාගේ ප්‍රමුඛ ගුරුවරයා වූයේ ඔස්ට්‍රියානු දර්ශනවාදියකු වූ Paul Karl Feyeradend ය. විද්‍යාවේ දාර්ශනික පදනම ගැන එංගලන්තයේ බි්‍රස්ටල් විශ්වවිද්‍යාලයේත් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේත් පර්යේෂණ රැසක් කළ පෝල් කාල් ෆෙයරාබෙන්ඩ් තම දැනුමේ හොඳම හරිය මහාචාර්ය නලින් ද සිල්වා වෙත ප්‍රදානය කළ බව පෙනේ. මහාචාර්ය ද සිල්වාගේ ජීවිතයේ අමිහිරිම අත්දැකීම වූයේ විශ්වවිද්‍යාලයේ කළ රස්සාව නැති වීමය. මේ වන විට ඔහු සිය ජාතික චින්තන මතවාදය පතුරුවමින් සිටියේය. ඔහුගේ මතවාදය සහ මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ මතවාද ඉතා දැඩි ලෙස ගැටුණේ ය. ජී.එල්. පීරිස් ඒ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ය. 2008 දී කැලණිය විශ්වවිද්‍යාලයේ විමංසක පර්ෂදයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ නලින් ද සිල්වා විදේශීය ඇඳුම් වෙනුවට දේශීය ඇඳුම් ඇඳීමට ශිෂ්‍යයන්ගේ මනස හුරුකළ පුද්ගලයා හැටියට ඉතිහාසයට එකතු වේ. නවීන විද්‍යාවට කොපමණ බැන්න ද ඔහු ජාත්‍යන්තර ගගන විද්‍යා සංගමයේ සාමාජිකයෙක් විය. ඔහු මේවාට ඇතුළු වුණේ නවීන විද්‍යාව තවදුරටත් ඉගෙනීමට නොව නවීන විද්‍යාවේ වැරදි සොයා ඒවා ජනතාවට ඉදිරිපත් කරනු පිණිසය.

බටහිරට ගැති ස්වදේශික තුප්පහියන් පිරිසක් මේ රටේ වෙසෙති. ඔවුන් කවදාවත් නලින් ද සිල්වාට, ඔහුගේ මතවාදයන්ට කැමති වුණේ නැත. එහෙත් නලින් ද සිල්වාගේ චින්තන පර්ෂදය ඇසුරෙහි වැඩුණු ජාතික චින්තන මතවාදීන් ඔහුගේ ඉගැන්වීම් ඉදිරියටම ගෙන යන බව අපගේ විශ්වාසය ය.

advertistmentadvertistment
advertistmentadvertistment