මේ ගරු අධිකරණය ඉදිරියේදී දණ ගැසීමට හැම පුරවැසියෙක්ම සූදානම්ය

1050

2024 පෙබරවාරි මස 18 වැනිදා ඉරිදා

2017 අවුරුද්දේ දවසක එවකට 81 හැවිරිදි වියේ පසුවූ ගොඩ්වින් පෙරේරා නමැති ජ්‍යෙෂ්ඨ පුරවැසියා සිය මොටෝරිය පදවාගෙන නාරාහේන්පිට ආසිරි රෝහල වෙත යමින් සිටියේය. ඒ අතර මාර්ගයේ කුණු ඉවත් කරමින් සිටින පුද්ගලයකු රියෙහි ගැටින. සැණෙකින් අහල පහල මිනිස්සු ගොඩ්වින් පෙරේරා ඇතුළු රිය වටකර ගත්හ. ජ්‍යෙෂ්ඨ පුරවැසියාට උදව් කළ ඔවුහු තුවාලකරු රෝහලට යවා සිද්ධිය පිළිබඳ නාරාහේන්පිට පොලිසියට දැනුම් දුන්හ. ඉන්පසු එහි පැමිණි කොස්තාපල්වරු දෙදෙනෙක් සහ සැරයන් කෙනෙක් ගොඩ්වින් පෙරේරා අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවට දමා තම තමන්ගේ වැඩක් බලාගෙන ආතල් ගනිමින් සිටි බව දැනගන්නට තිබේ. නොඉවසිලිමත් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගොඩ්වින් පෙරේරා තමාට එක දිගට පොලිස් කූඩුව තුළ සිටීමට නොහැකි බැවින් නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙසේදැයි පොලිසියෙන් විමසීය. එවිට පොලිසිය අයහපත් ලෙස ප්‍රතිචාර දැක්වී යැයි කියනු ලැබේ. මේ අයහපත් ප්‍රතිචාර කෙසේ විය හැකිද? මෙවැනි අවස්ථාවකදී කූඩුවේ සිටින එකා තරුණයකු නම් පොලිසිය කරන්නේ ඔහු කූඩුවෙන් එළියට ඇද තිත්ත කුණුහරුපයෙන් බැණ අම්බානක පහරදීමය. ගොඩ්වින් පෙරේරාට පහර නොදෙන ලද නමුත් පොලිසිය විසින් ඉතා නීච ලෙස කතා කරන්නට ඇති බව අපට සිතාගත හැකිය. පොලිස් ස්ථානය තුළදී නිල ඇඳුම් ඇඳගත් විට අඩුම ලංසුවේ පොලිස්කාරයාගේ සිට වැඩිම ලංසුවේ පොලිස්කාරයා දක්වා වූ වැඩි දෙනෙක් හැසිරෙන්නේ ඉතාම දරුණු සහ අහංකාර ලෙසකටය. සමහරවිට කිසියම් පොලිසියකට එන ප්‍රාදේශීය පොලිස් ප්‍රධානීන් OIC ගේ පුටුවේ වාඩිවී එම පොලිසියේම නිලධාරීන්ට බලය පිළිබඳ හීනමානත්වය ප්‍රදර්ශනය කරන අවස්ථා තිබේ. නිට්ටඹුවේ පොලිසියට එන ඇතැම් SSP කෙනෙක් ඉඳගන්නේ OIC ගේ පුටුවේය. වැල්ලවත්ත පොලිසියට එන ඇතැම් SSP කෙනෙක් ඉඳගන්නේ OIC ගේ පුටුවේය. මෙවිට බෙහෙවින් අසරණ වන OIC පැත්තක ඇති සුළු පුටුවක ඉඳගෙන SSP සමග සාකච්ඡා කරයි. සංස්ථාවකට යන ඇමැති කෙනෙක් කවදාවත් සභාපතිගේ පුටුවේ ඉඳගන්නේ නැත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට යන මන්ත්‍රී කෙනෙක් කවදාවත් ප්‍රාදේශීය ලේකම්ගේ පුටුවේ ඉඳගන්නේ නැත. මේ අතින් දේශපාලනඥයා කපටිකමට හෝ කිසියම් විනයක් ප්‍රදර්ශනය කරයි. එහෙත් හිඟන මානසිකත්වයක් ඇති හීනමානී ඇතැම් අර්ධ පොලිස් ලොක්කන්ට එවැනි චර්යාවක් නැත. මෙය එක්තරා මානසික රෝගයකි. පිටට ගෑස් පෙන්වන බොහෝදෙනා ගෙවල්වලදී සිටින්නේ ඇඳවල් යට හෝ මේසවල් යටය. දැනට පාතාලය සුද්ද කරමින් බෙල්ලෙන් අල්ලා කුඩුකාරයන් එළියට ඇද දමන වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වී සේවයෙන් විශ්‍රාම ගැනීමට පෙර පොලිසියේ තිබෙන මේ අඩු පාඩු සෑදිය යුතුය. නැත්නම් කොයි වෙලාවක හෝ පාතාල දාමරිකයන් හෝ කුඩ්ඩන් පැමිණ OIC ලාගේ පුටුවල ඉඳගන්නවා ඇත.

දැන් අපි නැවතත් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගොඩ්වින් පෙරේරා නමැති පුරවැසියා දෙසට හැරෙමු. ඔහු ජ්‍යෙෂ්ඨ පුරවැසියකු වුණාට පොලිසියේ අතපල්ලෙන් වැටුණු කෙනකු නොවේ. ඒ නිසා නාරාහේන්පිට පොලිසියේ මදාවියන් තුන්දෙනාගේ කුණුහරුප වරුසාව ඔහුට බලවත් හිත් වේදනාවක් විය. කූඩුවෙන් නිදහස් වී ගෙදර ගිය ඔහු වහාම නීතිඥයකු හමුවී නීති විරෝධී අත්අඩංගුවට ගැනීම හා පරිභව කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. පසුගියදා මේ පෙත්සම විභාග කරන ලද අතර ජ්‍යෙෂ්ඨ පුරවැසි ගොඩ්වින් පෙරේරා ඉදිරිපිට දණ ගසා සමාව ඉල්ලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කාකි කෝට්කාරයන් තිදෙනාට නියම කළේය. ඒ අනුව ප්‍රසිද්ධ අධිකරණයේදී එසේ සමාව ගන්නා ලදී. එසේ සමාව නොගන්නේ නම් පෙත්සම්කාර ගොඩ්වින් පෙරේරාට ලොකු වන්දියක් ගෙවීමට විත්තිකරුවන්ට සිදුවන බවද ගරු අධිකරණය නියෝග කළේය. මේ වෙලාවේදී අපි ගරු අධිකරණයට ප්‍රණාමය පුද කරමු. අහිංසක වයෝවෘද්ධ මිනිසකුට වූ අසාධාරණයකදී ඒ මනුස්සයාගේ පැත්ත ගෙන ක්‍රියාකළ මේ ගරු අධිකරණය ඉදිරිපිටදී දණ ගසා ප්‍රණාමය පළ කිරීමට මුළු රටම සූදානම් බව අපගේ හිත කියන්නේය.

සාමාන්‍යයෙන් සිවිල් පුරවැසියා පොලිස්කාරයන් ඉදිරියේදී දණ ගහනවා මිස පොලිසිය සිවිල් පුරවැසියන් ඉදිරියේ දණ ගසන්නේ නැත. ජනතාවගේ පැත්තේ නීතිය හිටගැනීම ඉතාම ආනන්දජනක සහ ආරක්ෂාකාරී අත්දැකීමකි. පොලිසිය විසින් නීතිය නැමූ කාලයක් මේ රටේ තිබිණ. එවැනි නැමිලි තවදුරටත් සිදුනොවන බවට අපට විශ්වාසය.

advertistmentadvertistment
advertistmentadvertistment