ආණ්ඩුවේ හුස්ම සහ ජනතාවගේ හුස්ම

959

ආණ්ඩුව පෙරළමුයි කියමින්, අරයා ගෝ හෝම්, මෙයා ගෝ හෝම් යැයි බෙරිහන් දෙමින් පාරවල් පුරා නටන දඟලන අරගලකරුවන් තවදුරටත් නොමැතිවීම වැඩකරන ජනතාවට මහත් සහනයකි. ඉතාම අඩු පහසුකම් යටතේ වුවද රට යථා තත්ත්වයට පත්වී තිබේ. දවස් දෙක තුනක් තෙල් පෝලිමේ සිටීම හෝ දවස් දෙකක් ගෑස් පෝලිමේ සිටීම අතුරුදන්වී තිබෙන අතර ඉක්මනින් නිමවෙන කුඩා පෝලිම් පමණක් තවමත් දැක ගැනීමට ලැබේ. දිග පෝලිමකට වඩා කෙටි පෝලිමක් දක්නට ලැබේ නම් එය අත්‍යන්තයෙන්ම ඇසට හිතකර වූ දර්ශනයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ රට නැවත වරක් සාමකාමී වී ඇත. එහෙත් මේ සාමය දිගටම පවත්වාගෙන යෑමට නම් ජනතාවගේ ජීවන වියදම පහළ දැමීම අත්‍යවශ්‍ය ය. මේ රටේ සල්ලි කොළවලට ඇති වටිනාකම හෙවත් මිලදී ගැනීමේ ශක්තිය ශීඝ්‍ර ලෙස අඩුවී ඇත. පැවැති ආණ්ඩු ගණනාවක් විසින් කරන ලද පව් සියල්ලෙහිම බර පිළිබඳ නරක නාමය මේ ආණ්ඩුව මත පැටවිය යුතු නැති බව අපි පිළිගනිමු. එහෙත් ඒ අතරම ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා හැකි උපරිම පියවර සැණෙකින් ගන්නා ලෙස නැවත වරක් ආණ්ඩුවෙන් අප ඉල්ලා සිටිමු.

මේ රටේ ඉහළම මට්ටමේ ධනවත් පවුල් හයසීයකට වඩා නැති බව අපගේ විශ්වාසය වේ. සාමාන්‍යයෙන් කොළඹ සුපිරි සාප්පු සංකීර්ණ, තරු පහේ හෝටල් වෙත යන කෙනෙකුට පෙනී යන්නේ එම තැන් ගැනුම්කරුවන් ගෙන් පිරී ගොස් ඇති බවය. මිනිස්සුන්ට සල්ලි නැත්නම් මේ හෝටල් සහ සාප්පු පිරෙන්නේ කෙසේදැයි කෙනකු ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ. එහෙත් කොළඹ නගරය යනු සමස්ත ආර්ථිකයේ සාම්පලයක් නොවේ. කොළඹ නගරයේ ඇහැට පෙනෙන දෛනික වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම රටේ සමස්ත ගනුදෙනුවලින් දාහෙන් එකක්වත් ඉක්මවන්නේ නැත. මේ රටේ සිටින ධනපති පවුල් හයසීයක් හෝ හත්සීයක් දෛනිකව කන බොන ක්‍රමය, බඩු මිලට ගන්නා ආකාරය, සුඛෝපභෝගී වාහනවලින් ගමන් බිමන් යන පිළිවෙළ, පීසා කන හැටි, බර්ගර් කන ආකාරය යනාදිය සාම්පල් වශයෙන් ගෙන කතා කරන ඇතැම් අය රටට කියා දෙන්නේ ඉතා වැරදි ආර්ථික පාඩම් ය. මේ රටේ ජනයා ජීවත්වන ආකාරය කතා කිරීමට නම් අප නිතරම යා යුත්තේ නගරයෙන් පිට ගමට හෝ නගරය තුළ සිටින පහළ මැද පන්තිය වෙත ය. ගමේ සිටින සාමාන්‍ය ජනතාවත් නගරයේ සිටින පහළ මැද පන්තියත් ඉතා දුෂ්කර ජීවිත ගත කරති. යන්නට රටක් නැතත් පිටරට ගොස් කරන්නට රස්සාවක් නැතත් ගමෙන් සහ නගරයෙන් එන පහළ මැද පන්තියේ ජනතාවගෙන් පාස්පෝට් කන්තෝරුව පිරී ගොස් ඇත්තේ ඒ නිසාය. මිනිසුන් තුළ තිබෙන්නේ දුෂ්කරතා ජයගැනීමේ සිහිනය පමණි. හිරු උදා වූ වහාම එම සිහිනය වියැකී යන අතර සාමාන්‍ය ලෝකයට පිවිසී දෛනික දුෂ්කරතාවලට මුහුණ දීමට ජනතාවට සිදුවේ. මේ රටේ සපත්තු මිල අධික ලෙස ඉහළ යෑම නිසා ඇතැම් සපත්තු කඩ පහසු ගෙවීමේ ක්‍රමයට සපත්තු අලෙවි කරන බව අපට දැනගන්නට ලැබී තිබේ. ඒ අතර ඇතැම් උගස් බඩු කඩ ගෙදර තිබෙන පුටු මේස පවා උගසට ගනිති. පුටු මේස උගසට සින්න වූ පසු උගස් බඩු කඩවලට උගස් ගැනීමට සිදුවන්නේ පහළ මැද පන්තියේ ජනයා සතු කොට්ට පැදුරුය. පෝෂ්‍යදායක ආහාර මිලට ගැනීමට නොහැකිව ළතවෙන පවුල් ලක්ෂ ගණනක් මේ රටේ සිටිති. ඇතැම් ආයතනවල සේවය කරන තරුණියන් පස් දෙනෙක් බත් මුල් දෙකක් බෙදා හදාගෙන කන බව අපි ප්‍රවෘත්ති මාර්ගයෙන් දැන ගතිමු. නගරයේ සේවය කරන බොහෝ පිරිමි දවල් වේල මඟ හරිති. සහල් කිලෝව රුපියල් 300 දක්වා යන ගමන දැනට නැවතී ඇතත් යළි කවර හෝ වෙලාවක එම ගමන පටන් ගනු ඇතැයි සාමාන්‍ය ජනයා තුළ බියක් පවතී. ඉහළ ගිය බස් ගාස්තු ගැන ජනතාව කලබැගෑනියක් නොකරන්නේ ඔවුන් එම බස් ගාස්තුවට පුරුදු වීම නිසා හෝ එම බස් ගාස්තුව දරා ගැනීමට තිබෙන හැකියාව නිසා හෝ නොව කරකියා ගැනීමට දෙයක් නැති බැවිනි. එළවළු මිල නැවත වතාවක් ඉහළ යෑමත් සාමාන්‍ය මිනිසාගේ දෛනික ප්‍රෝටීන් ආහාරය වූ බිත්තර මිල රුපියල් 50 න් පහළට නොබැසීමත් දරා ගැනීමට නොහැක. පස් දෙනකුගෙන් යුතු පවුලකට දිනකට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයෙන් යම් කොටසක් බිත්තර 5 කින් ලබාගත හැක. දිනකට බිත්තර 5 බැගින් මාසයක් පුරා බිත්තර අනුභව කළොත් එම පවුලට බිත්තර සඳහා පමණක් මසකට රුපියල් 7500 ක් වැය කිරීමට සිදුවේ. බිත්තරයක් යනු පුද්ගලයකුගේ දෛනික අවශ්‍යතා සිය ගණනකින් එකක් පමණි. මෙවැනි රුපියල් 7500 මාසික අවශ්‍යතා විශාල ගණනක් ජනතාව ඉදිරිපිට ඇත.

ජනාධිපති වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ ආර්ථික ගේම් එක ගහගෙන යන්නේ දැඩි දුෂ්කරතා මැදය. විදේශික ශ්‍රමිකයන්ගෙන් තවමත් රටට මුදල් ප්‍රේෂණය නොවේ. රටට විදේශ විනිමය ගෙනෙන ගාමන්ට් කර්මාන්තය ද බංකොලොත් වී ඇත. රුසියන් – යුක්රේන් යුද්ධය නිසා මෙරට තේ සඳහා ඇති ඉල්ලුම ද අබල් බබල් වී තිබේ. සංචාරක ව්‍යාපාරය ද තවමත් හරිආකාරව කෙරෙන්නේ නැත. ඉඳ හිට පාරේ දක්නට ලැබෙන සුද්දන් දෙතුන් දෙනාද තරු පහේ හෝටල්වලින් බැහැරව රාත්‍රී කාලයේදී දුම්රිය පොළවල නිදා ගැනීමටත් පෙට්ටි කඩවලින් කෑමටත් පුරුදුව සිටිති. තරු පහේ පහසුකම් විඳින සුද්දෙක් සතියකට වැය කරන මුදලින් දුම්රිය පළේ නිදියන සුද්දාට අවුරුද්දක් මේ රටේ ජීවත් වීමට පුළුවන. මේ කිසිවක් ආණ්ඩුවේ වැරදි ලෙස අපි නොදකිමු. ආණ්ඩුව ද නිදහසේ හුස්ම ගන්නට පටන් ගත්තා පමණි. නිදහසේ හුස්ම ගන්නා අතර නිසි ආර්ථික ක්‍රමෝපායන් යොදවා රට කෙළින් කිරීමට මේ ආණ්ඩුවට බැරි වුණොත් ජනතාවගේ හුස්ම නවතිනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment