ආනයනික ටින්මාළු සඳහා බදු වැඩි කිරීමෙන් දේශීය ටින්මාළු කර්මාන්තය ආරක්‍ෂා වෙනවා

64

ආනයනික ටින්මාළු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩිකිරීම නිසා දේශීය ටින්මාළු කර්මාන්තය ආරක්‍ෂා කිරීමට රජය පියවර ගෙන ඇතැයි දේශීය ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පෙරේදා (23 දා) පැවසීය.

විශේෂ වෙළෙඳ භාණ්ඩ රුපියල් 100 ක්ව පැවැති බවත් එය රුපියල් 200 දක්වා වැඩිකිරීම සඳහා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සහ එම අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය දේශීය සැමන් ටින් කර්මාන්තය ආරක්‍ෂා කර ගැනීමට රජයේ අවධානය යොමු කිරීමේ පියවරක් ලෙස බද්ද වැඩිවූ බවත් පෙරේදා (23 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ රට දියුණු කිරීමට සංචාරක ව්‍යාපාරයෙන් සහ ධීවර කර්මාන්තයෙන් වැඩි දායකත්වයක් ලැබිය හැකි බවත්, ධීවරයන් සඳහා නවීන තාක්‍ෂණික අයිස් යන්ත්‍රාගාර සහිත බෝට්ටු ලබාදීමට රජයට හැකිනම් ධීවර කර්මාන්තය තුළින් රටට ඇමරිකන් ඩොලර් උපයාගැනීමේ හැකියාව පවතින බවත් ඒ මහතා කීය.

මේ වනවිට දෛනිකව රටට අවශ්‍ය ටින්මාළු ටින් ලක්‍ෂ දෙකහමාරක් දේශීය කර්මාන්තවලින් නිපදවන බවත්, මේ වනවිට දෛනික නිෂ්පාදනය ලක්‍ෂ තුනද ඉක්මවා තියෙන බවත් පැවසූ ඒ මහතා මේ වනවිට වෙළෙඳපොළ තුළ සැමන් ටින් එකක් රුපියල් 450 ත් – 470 ත් පමණ වන බවත් ඉදිරි දිනවල එම මිල තවත් අඩුවිය හැකි බවත් කියා සිටියේය.

ප්‍රමිති කාර්යාංශයේ අනුමැතිය සහිත ීඛී සහතිකය ලද ටින්මාළුවලට අමතරව අනුමැතිය නොමැති ටින්මාළුද මෙරට අලෙවි වන බවත් ඒවා මැඩීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටි ඒ මහතා විදෙස් රටවලින් ගෙන්වන ටින්මාළු නතර නොකරන ලෙස සංගමයක් ලෙස ඉල්ලා සිටින බවද පැවසීය. එම ටින්මාළු ගෙන්වීමේදී සැලකිය යුතු බදු මුදලක් අය කිරීම මගින් පරිභෝගිකයන්ට අවශ්‍ය නම් විදෙස් ටින්මාළු මිලදී ගැනීමටද අවස්ථාව තිබිය යුතු බව ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
ඡායාරූපය – නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment