කෑගල්ලේ සජබ කාර්යාලයේ කාන්තා මරණයට සජබ සංවිධායක අල්ලයි  

1076

සමගි ජනබලවේග පක්‍ෂයේ කෑගල්ල ආසන සංවිධායකවරයාට අයත් කාර්යාලයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව අබිරහස් අන්දමින් එහි සේවිකාවක් මිය යෑම සම්බන්ධයෙන් එම සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතා කෑගල්ල පොලිසිය මගින් ඊයේ (01දා) සවස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 36 හැවිරිදි සකුන්තලා වීරසිංහ නැමැති කාන්තාවක් බව පොලිසිය හඳුනාගෙන තිබේ.

මෙම කාන්තාව මියගොස් ඇත්තේ කිසියම් පුද්ගලයකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ද එසේත් නැතිනම් ඇය විසින්ම වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේද යන්න මෙතෙක් හෙළිවී නොමැත.

කාන්තාව මියගොස් සිටි පක්‍ෂ කාර්යාලය පිටුපස කාමරයේ තිබී රිවෝල්වරයක් ද පොලිසිය සොයාගෙන ඇත.

සමගි ජනබලවේගය පක්‍ෂයේ කෑගල්ල සංවිධායක ලක්‍ෂ්මන් දිසානායක මහතාට අයත් කළුගල්ල මාවතේ පිහිටි කාර්යාලය පිටුපස කාමරයේ මෙම වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වී තිබුණි.
මෙම කාන්තාව පක්‍ෂ කාර්යාලයේ සේවය කරන තැනැත්තියක් වන අතර ඊයේ උදෑසන ඇය සේවයට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධිය වී තිබූ බව පොලිසිය පවසයි.

මෙම කාන්තාවගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ දහවල් පැවැත්වීමට නියමිතව තිබුණි. කාන්තාවගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව මූලික විමර්ශනවලින් හෙළිවී ඇත.

කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත කෑගල්ල පොලිසිය විමර්ශන පවත්වයි.

හේමන්ත රන්දුණු, සමන් ගමගේ, කොටියාකුඹුර රම්‍යපාල

advertistmentadvertistment
advertistmentadvertistment