චන්ද්‍රිකාගේ පැමිණිල්ල: මෛත්‍රීට ශ්‍රීලනිප සභාපති වැඩ බෑ

380

ඔහුගේ තීරණ ක්‍රියාත්මක කරන්න එපා

මිත්‍රපාල සිරිපාල මුස්තාපාටත් නියෝග:

ජනපති ධුරයේ සිටියදීත් ඔහු තම වගකීම් පැහැර හැරලා – චන්ද්‍රිකාගේ නීතිඥයා

උසාවියෙන් වාරණයක්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (04දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා එම පැමිණිල්ල අසා අවසන් තීරණයක් ලබාදෙනතුරු බල පැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කළේය.එඑම පැමිණිල්ලේ පළමු වන විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස තවදුරටත් පෙනීසිටීම අනුව වාරණය කෙළේ, ඔහු පක්‍ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවට පිළිගැනීමත් එසේ ඔහු ගන්නා නීති ක්‍රියාත්මක නොකරන බවටත් එම පක්‍ෂයේ වැඩ බලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා හා උප සභාපති ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා සහ පිරිසට හා එහි ප්‍රධාන සංවිධායක ඇතුළු පිරිසට විනිසුරුවරයා වාරණ නියෝගයක් ද නිකුත් කළේය. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රතිපත්ති ස්ථිර ලෙසම උල්ලංඝනය කරන ලද අයෙකු වන බැවින් තවදුරටත් ඔහු එම පක්‍ෂයේ සභාපති ධුරය දැරීම පක්‍ෂයේ ප්‍රගමනයට අප්‍රතිකාරී සහ පිරිමැසිය නොහැකි හානියක් බවත් එම පක්‍ෂයේ අනුශාසකවරිය ලෙස කටයුතු කරන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සිය පැමිණිල්ල මගින් අධිකරණයට කියා තිබිණි.

වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන ස්ථීර ප්‍රතිපත්තියක් නොමැති අත්තනෝමතිකව හිතුමතේ තීරණ ගන්නා අයකු බවත් සිය පක්‍ෂයේ ව්‍යවස්ථාව ප්‍රතිපත්ති උල්ලංඝනය වන අයුරින් කටයුතු කරන අයකු බවත් හෙතෙම පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයන් ඔවුන් දරන තනතුරුවලින් ඉවත් කිරීම නිසා පක්‍ෂය පිරිහීමට ලක්වෙමින් පවතින බවත් එම පැමිණිල්ල මගින් හිටපු ජනාධිපතිනිය අධිකරණයට කියා තිබිණි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලය ඇතුළත වගකීම් විරහිත ලෙස හා යුතුකම් පැහැර හරිමින් කටයුතු ලද බවත් එකී රාජ්‍ය පාලනයේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ වගකීම නිසි ලෙස ඉටු නොකළ බවත් සිය පැමිණිල්ල මගින් කියා තිබූ හිටපු ජනාධිපතිනිය ජනාධිපති තනතුරේ සහ සේනාධිනායක ලෙස කටයුතු කරමින් වගකීම් පැහැර හැරීම නිසා 2019.04.21 වැනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරවලින් කුඩා දරුවන් ඇතුළු 269කට ජීවිත අහිමිවී තවත් 500කට පමණ බරපතළ තුවාල සිදුවූ බවත් කියා තිබිණි. එකී ප්‍රහාරවලින් විදේශිකයන් 45 දෙනකු පමණ මියයෑම නිසා මෙරට සංචාරක ව්‍යාපාරයට බලවත් හානියක් සිදුවූ බවත් සිය පැමිණිල්ල මගින් කියා තිබූ හිටපු ජනාධිපතිනිය ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර නොගැනීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ අයකු බවට තීන්දු කොට රුපියල් මිලියන 100 වන්දියක් ගෙවන ලෙසට නියම කොට ඇති බවද අධිකරණයට කියා තිබිණි.

පළමුවන විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා මෙහෙයවූ මැතිවරණ ව්‍යාපාරයේදී තමා විසින්ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ යැයි සිය පැමිණිල්ල මගින් කියා තිබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මහින්ද රාජපක්‍ෂගේ පවුල් දේශපාලනය පරාජය කිරීමට ජනවරමක් ඉල්ලා සිටි ඔහු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ පසු ජනතාවගේ ජනවරමට පිටුපාමින් අග්‍රාමාත්‍ය ධුරයේ සිටි රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා විරෝධී ලෙස නෙරපා වෙනත් පාර්ශ්වයකට බලයක් ලබාදුන් බවද අධිකරණයට කියා තිබිණි. ඔහුගේ එකී ක්‍රියාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නීති විරෝධී බවට තීන්දු කොට ඇති බවත් කියමින් ගොනු කර තිබූ එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නීතිඥ අමිල ඊ දිසානායක, පූර්ණිමා රත්නායක සහ නීතිඥ මණ්ඩලය සමග නීතිඥ කේ.එම්. එස්, ආර්. පෙරේරා මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය. ලබන 18 වැනිදා අධිකරණය හමුවේ එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි යැවීමටද විනිසුරුවරයා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment