ඊයේ අත්අඩංගුවට ගත් දමිතා සහ සැමියා අද අධිකරණයට

311

මා හැටනව ලක්‍ෂයේ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කළ ගැහැනියක් – දමිතා කියයි

මම හිරේ යන්න බය නැහැ හිරගෙවල් තියෙන්නෙ මිනිස්සුන්ට හිරේ යන්න. මං හිරගෙදර ඉඳන් අවුරුදු සමරනවා සීඅයිඩී එක කිව්වා මං හැංගුණා කියලා. දමිතා කියන්නෙ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙවෙයි. හැටනව ලක්‍ෂයක් ඡන්ද ගත්තු කාලකන්නි ක්‍රමයට විරුද්ධව අරගල කළ ගැහැනියක් යැයි සැකකාර දමිතා අබේරත්න කොටුව අධිකරණ භූමිය අසලදී මාධ්‍ය හමුවේ ඊයේ (04 වැනිදා) කියා සිටියාය.

දමිතා අබේරත්න මේ බව කියා සිටියේ කොටුව අධිකරණය වෙත භාර වීමට පැමිණි අවස්ථාවේදීය.

එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගත්හ.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (05 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් කොටුව අධිකරණයට ඊයේ (04 වැනිදා) පෙරවරුවේ භාරවීමට පැමිණි අවස්ථාවේ එහි පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සැකකාර දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගත්හ. පසුව ඔවුන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබිණි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියේ මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් දමිතා අබේරත්නගෙන් සහ ඇගේ සැමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බැවින් ඔවුන් ඊයේ දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නොහැකි බවයි.

කොරියාවේ රැකියාවක් ලබාදෙන බව කියමින් පුද්ගලයකුගෙන් රුපියල් තිස්ලක්‍ෂයක මුදලක් ලබාගෙන එම මුදල වංචා කළ බවට ලැබී තිබූ පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් පසු දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි. මේ අතර දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඊයේ පෙරවරුවේ සිය නීතිඥයන් මාර්ගයෙන් කොටුව අධිකරණය වෙත ඉදිරිපත් වී සිටියහ.

මෙම නඩුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා සැකකාර දමිතා අබේරත්න සහ සැමියා භාර ගැනීමට අධිකරණය ප්‍රතික්‍ෂේප කර ඇත. ඒ වනවිට සැකකාර යුවල අධිකරණය වෙත පැමිණ සිටින බවට ලැබුණු තොරතුරු මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එහි ගොස් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.

හේමන්ත රන්දුණු, අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment