මහින්දගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

68

හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට තම අධිකරණය විසින් පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය, ලබන අප්‍රේල් 20 වැනිදා සිට අප්‍රේල් 31 වැනිදා දක්වා දින 11 ක කාලයකට තාවකාලිකව ඉවත්කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (08 දා) නියෝග කළේය.

පසුගිය වසරේ මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් සිය ගණනක් ගාලුමුවදොර ස්ථාපිත කොට තිබූ ගෝඨා ගෝ ගම අරගල භූමියට කඩා පැන සාමකාමි අරගලකරුවන්ට පොලු මුඟුරුවලින් පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුව

පසුගිය වසරේ මැයි 12 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම විදේශ ගමන් තහනම පනවා තිබිණි.

අධිකරණයේ අවසර ලබා ගැනීමකින් තොරව විදේශගත වීම වළක්වමින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 24 දෙනකුට එලෙස විදේශ ගමන් තහනමක් පනවා තිබීම නිසා තාවකාලිකව එම තහනම ඉවත් කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment