කෑගල්ලේ 2014 මිනීමැරුමකට – 5කට මරණ දඬුවම

257

කෑගල්ල දේවාලේගම කහගල්ල ප්‍රදේශයේ නිවසක දී හිසට සිමෙන්ති ගඩොල් කැටයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියට වැරදිකරුවන් වූ විත්තිකරුවන් පස්දෙනකුට කෑගල්ල මහධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය ඊයේ (08දා) මරණ දඬුවම නියම කළාය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ අංක 90 කහගල්ල දේවාලේගම ලිපිනයේ පදිංචිව සිටින කුරුවිට ආරච්චිලාගේ දොන් චමින්ද ක්‍රිශාන්ත පෙරේරා, දික්ඇල්ල කෑගල්ල ලිපිනයේ පදිංචිව සිටින විල්ගම යද්දෙස්සලාගේ වසන්ත කුමාර, ටිකිරා කොටුව උඩබෝගල උදුගොඩ ලිපිනයේ පදිංචිව සිටින අසංක ප්‍රදීප් කුමාර, කරදැටියන දේවාලේගම පදිංචිව සිටින කලන්සූරියලාගේ ගයාන් චින්තක කලන්සූරිය සහ කන්දේ ගෙදර දේවාලේගම ලිපිනයේ පදිංචිව සිටින ජයලත්ගේ සුරංග දර්ශන ජයලත් යන පස්දෙනාය.

ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් පස්දෙනා පිළිවෙලින් අධිකරණයේ පෙනී සිටි අතර මහධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන් පස්දෙනා මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වැරිදිකරුවන් කරන බවය. ඊට ප්‍රථම යමක් ප්‍රකාශ කිරීමට ඇද්දැයි ද විමසූ විට විත්තිකරුවන් පස් දෙනා වෙන වෙනම කියා සිටියේ තමන් මෙම මරණ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවය. පසුව මහධිකරණ විනිසුරුවරිය කියා සිටියේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කළ හැකි බවය. ඒ අනුව විත්තිකරුවන් පස් දෙනාට මරණ දඬුවම නියම කෙරිණි.

2014 ජූලි මස 03 වන දින හෝ ඊට ආසන්න දිනක දී දේවාලේගම පොලිස් වසමේ කහගල්ල ග්‍රාමයේ සිය බිරිඳගේ නිවස ආසන්නයේ තාවකාලිකව පදිංචිව සිටි කොටියාකුඹුර පොල්ගම්පොළ ග්‍රාමයේ පදිංචිව සිටි අලහකෝන් මුදියන්සේලාගේ නන්ද අලහකෝන් නමැති 39 හැවිරිදි දෙදරු පියා රාත්‍රි ඝාතනයකට ලක්ව තිබුණි.

ඔහු කොටියාකුඹුර පොල්ගම්පොළ ප්‍රදේශයේ පදිංචිවකරුවකු වන අතර ඔහු ගුවන් හමුවේ සේවය කර පසුව නීත්‍යානුකූලව ඉවත් වී තිබේ. ඔහු ප්‍රදේශයේ පාසලක් වන අරුග්ගම්මන විද්‍යාලයේ උප ගුරුවරියක ලෙස සේවය කරමින් සිටි දේවාලේගම කහගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන 2004 වර්ෂයේ විවාහ කරගෙන පොල්ගම්පොළ නිවසට කැන්දාගෙන ගොස් තිබේ. වසර තුනකට ආසන්න කාලයක් කොරියා රාජ්‍යයේ සේවයට ගොස් පැමිණ තිබූ අතර ඔහු මත්පැන් බීමට තදින්ම පුරුදුව සිටි බව ද පැවසෙයි.

ඝාතනය සම්බන්ධයෙන් එවකට කෑගල්ල මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරුන් වන තෝරදෙනිය, සමන් කීර්ති, උප පොලිස් පරීක්ෂක රවින්ද්‍ර බණ්ඩාර පොලිස් සැරයන් නිමල් (56391) නිලධාරීන් මූලික විමර්ශන කටයුතු සිදු කර කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

පසුව එවකට කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාව සිටි විශේෂඥ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර හිසට පහර දීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට අධිකරණයට වාර්තා කර තිබුණි.

පසුව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙත යොමු කොට එක් අධිචෝදනාවක් යටතේ සබරගමුව පළාත්බද කෑගල්ල මහාධිකරණයට යොමු කොට තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අරින්ද්‍ර ජයසිංහ මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන ටයිටස් මනතුංග ,රංජිත් සේනාධීර, සිතිරා ස්වර්ණපාලී වෛද්‍යසේකර, ජිවනී අතුකෝරල යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ. කෑගල්ල මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් (32939) ප්‍රදීප් මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය.
කොටියාකුඹුර – රම්‍යපාල, කෑගල්ල – එම්. බී. පහලවත්ත සහ බුලත්කොහුපිටිය – වසන්ත සමරවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment