ඔස්‌ට්‍රේලියාව පසු බසිද්දී ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට

376

ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ හය වැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමත්වී තිබේ. ඒ ඔස්‌ට්‍රේලියාව සමගින් පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 39කින් ජය ගැනීමට සමත් වීමත් සමගිනි.

ශ්‍රී ලංකාව සමගින් පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට පෙර ඔස්‌ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ

ගැනීමට සමත්වී සිටි අතර ඔවුන් තරග 9කදී තරග සම වීම් 3ක් සහ ජයග්‍රහණ 6ක් සමගින් අපරාජිතව සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව හමුවේ මෙවර අයි.සී.සී. ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු පරාජය ලැබූ ඔස්‌ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර දෙවැනි ස්ථානයේ රැඳුණු දකුණු අප්‍රිකානු කණ්ඩායම එහි පළමු ස්ථානයට පත්ව තිබේ.

අයි.සී.සී. ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 8කින් තරග සමවීමක් සමගින් ජයග්‍රහණ 4ක් වාර්තා කිරීමට මේ වනවිට සමත්වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග ජයග්‍රාහි ප්‍රතිශතය සියයට 54.17ක් ලෙසින් සටහන් වී තිබේ.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ හය වැනි ස්ථානයේ සිට තුන් වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණෙද්දී පිළිවෙළින් පාකිස්තානය සහ ඉන්දියාව එහි සිව්වැනි සහ පස්වැනි ස්ථාන දක්වා පහළට වැටිණි. ඒ අනුව ඉදිරියේදී පාකිස්තාන කණ්ඩායම සමගින් ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් බවට පත්ව තිබේ.

ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැඳෙන පාකිස්තාන කණ්ඩායම තරග 7කදී තරග සමවීම් 2ක්, පරාජයන් 2ක් සහ ජයග්‍රහණ 3ක් වාර්තා කිරීමට සමත්වී තිබේ. එහි තරග ජයග්‍රාහි ප්‍රතිශතය සියයට 52.38ක් ලෙසින් සටහන් වන අතර එය ශ්‍රී ලංකාවට වඩා අඩු අගයක් ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට මානසික සුවයක් වනු ඇත.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment