කෝටි තුනක අයිස් කල්පිටියෙන් අල්ලයි

87

රුපියල් කෝටි තුනකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රි රෝද රථයකින් රහසිගත ලෙස සඟවා කල්පිටියේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් සිටිය දී සැකකරුවන් දෙදෙනකු සමග කල්පිටිය සිංහකුඩිරිප්පුව ප්‍රදේශයේ දී කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (9 දා) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.

කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරින්ගේ බුද්ධි තොරතුරකට අනුව සිදු කළ මෙම වැටලීමේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන ප්‍රධාන පෙලේ සැකකරුවකු හා කල්පිටිය තෝරඅඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය කිලෝ දෙකක් වන අතර ඒවා ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් කල්පිටියට ධීවර යාත්‍රා උපයෝගි කර ගනිමින් රැගෙන විත් මෙසේ කලක සිට ජාවාරමේ නිරත වී ඇති බව විමර්ශනවල දී හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 20,000ක මුදලක්, ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබූ අතර සැකකරුවන් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කල්පිටිය පොලිස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.වී.එස් . මුණසිංහ මහතා ,පොලිස් විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මදුරංග, පොලිස් සැරයන් (61578) බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් වැටලීමට එක්වූහ.

අමරනන්ද විජේසේකර – මහවැව පුත්තලම නලින් හෙන්දුරගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment