හිරෙන් පනින්න හැදූ රැඳවියා වෙඩි කා මරුට

119

කෑගල්ල බන්ධනාගාරයෙන් ඊයේ (08 දා) අලුයම 3.00 ට පමණ පලායෑමට උත්සාහ කළ රැඳවියකුට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇති අතර එම රැඳවියා මියගොස් ඇත.

නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් චෝදනා මත බන්ධනාගාර ගතකර සිටි රැඳවියකු මෙසේ මරුමුවට පත් වී ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මුණසිංහ ආරච්චිගේ අජිත් කුමාර නමැති අයෙකි.

නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මෙම පුද්ගලයා කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි අතර ඔහු බන්ධනාගාර කුස්සියේ කටයුතු සඳහා අනුයුක්ත කර සිට ඇත.

බන්ධනාගාර කුස්සිය පිහිටි ස්ථානයට යාබදව පිහිටි විශාල තාප්පය මීට ටික කලකට උඩදී පෙරළී ගොස් තිබූ අතර එම ස්ථානය ටකරන් යොදා ආවරණය කර තිබී ඇත.

මෙම රැඳවියා කුස්සියේ වැඩ කටයුතු කරන අතරතුර ටකරන් ගලවා පැනයෑමට සැලසුම් කර තිබේ. ඊයේ අලුයම 3.00 ට පමණ මොහු ටකරන් ගලවා බන්ධනාගාරයෙන් පලායද්දී එහි රාජකාරි කරමින් සිටි නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇත.

වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ රැඳවියා රෝහල් ්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කෑගල්ල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු, කෑගල්ල – එම්. බී. පහලවත්ත සහ බුලත්කොහුපිටිය – වසන්ත සමරවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment