සමහරු මට කතා කරලා ඇඬුවා
හමාර බණවර කියලා දැන් අවුරුදු හයක්
අවස්ථාවක් තිබුණා නම් එතැනට ගිහිල්ලත් කියනවා

පුරුදු පාරෙම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සෙ එනවා
තනිව මා ආ ගිය මඟේ

කවමදාවත් මගේ බර උඹේ
කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති කර නුඹේ…//

වත්තෙ වැව ළඟ නිසල නිවහන
මමම හැදුවා පොඩි පුතේ
මගේ තනියට ලොකු පුතා ඇති
සොයා ගන්නම් හෙට උදේ

සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ
යන ගමන් අර බේත් තුණ්ඩුව
ගිහින් දීපන් අම්මගේ…//

රවී රොයිස්ටර් ගායනා කළ ‘හමාර බණවර’ නමැති මේ ගීතය පසුගිය සතියේ විද්‍යුත්, මුද්‍රිත වගේම සමාජ මාධ්‍ය මගින් නිතර කතාබහට ලක්වුණා. ඒ, පාලිත තෙවරප්පෙරුම නමැති සුන්දර චරිතය නැතිනම් දේශපාලනඥයාගේ වියෝවත් සමගය. ඔහුගේ අවසන් කැමැත්ත වූයේ මේ ගීතයේ පද පේළි කිහිපයක් වෙනස් කර තමන්ගේ අවසාන භූමදානය දවසේ ගායනා කිරීමය. ඉතින් ඔහුගේ අකල් වියෝවත් සමග මේ ගීතය වගේම පාලිත තෙවරප්පෙරුමගේ අන්තිම කැමැත්ත මාධ්‍ය මගින්ම වගේම සමාජ මාධ්‍ය මගින් ද නිතර කතාබහට ලක්වුණා. මේක දැකපු ගීතයේ මුල් ගායක රවී, පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කැමැත්ත සැබෑවටම ඉෂ්ට කළා.

ඉතින් පාලිතගේ අන්තිම කැමැත්ත ඒ අයුරින් ඉෂ්ට කළ රවීට ඉඩක් වෙන් කළා.

රවී රොයිස්ටර් මේ වීඩියෝව කොහොමද දුටුවේ?

මම එතුමාගේ සම්මුඛ සාකච්ඡාවකදී තමයි ඒ ගීතය එලෙස ගායනා කරනවා දුටුවේ. අන්තිමේ මට හිතුණා වැඩේ කරලා සමාජ මාධ්‍යට හරි දාන්න ඕනෑ කියලා. මොකද මට ඕනෑ වුණේ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කැමැත්ත ඉෂ්ට කිරීමයි. මගේ මිත්‍රයන් කිහිපදෙනකුත් පැවසුවා ඒ අවසාන කැමැත්ත ඉෂ්ට කරන්න කියලා.

මෙච්චර කාර්යබහුල වෙලාවක කොහොමද ඔබ ඒ අන්තිම කැමැත්ත ඉෂ්ට කළේ?

කොච්චර කාර්යබහුල වුණත් මනුෂ්‍යයකුගේ අන්තිම කැමැත්ත සංගීතඥයෙක් විදිහට මම ඉෂ්ට කරන්න ඕනෑ කියලා මේ සාකච්ඡාව දැක්ක දවසට පස්සෙ දවසම මම නැවත ගීතය පටිගත කළා.

අවසන් කටයුතු කරන්න කලින් දවසේද පටිගත කළේ?

ඔව්. අවසන් කටයුතු කරන්න කලින් දවසේ ගීතය ඔහුගේ අවසන් කැමැත්ත අනුව පටිගත කළා. ඊට පසුව මම සමාජ මාධ්‍ය හරහා කට්ටියට අහන්න සැලැස්සුවා.

මම පාලිත මහත්තයාගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කළා - රවී රොයිස්ටර්

අවසන් කටයුතු වෙලාවේ මේ ගීතය වාදනය කළාට පස්සේ ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

සමාජ මාධ්‍ය හරහා වගේම දුරකථන මාර්ගය ඔස්සේ ගොඩක් අය මට හොඳ ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ ක්‍රියාවට ගොඩක් අය මට ගරු කරලාත් තිබුණා. නමුත් මට ඕනෑ වුණේ කලාකරුවෙක් විදිහට අපිට කරන්න පුළුවන් දේ අන්තිම මොහොතේ හරි කරන්නයි.

පාලිත තෙවරප්පෙරුම නමැති සුන්දර මිනිසා ඔබට මුණගැසිලා තියෙනවාද?

නැහැ. මට මුණගැසිලා නැහැ.

ඔහු ගායනා කළ පද පේළි හතර ගැන මොකද හිතුණේ?

ඒ, එතුමාගේ අදහසනේ. එතුමාගේ හිතට අවංකව ආපු අදහසක්. ඒ අවංක අදහසට මමත් සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනෑ කියලා හිතුවා.

මළගෙදරට සහභාගි වෙන්න පුළුවන් වුණාද?

නැහැ. මට සහභාගි වෙන්න බැරි වුණා. මේ දවස්වල අතිශය කාර්යබහුල වෙලා ඉන්නේ. හැබැයි මළගෙදරට සහභාගි වෙන්න බැරිවුණත් එතුමාට දෙන්න පුළුවන් උපරිම ගෞරවය මම දැක්වූවා.

මේ සිද්ධිය ගැන මේ වෙනකොට සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහට ලක්වෙනවා?

සමහරු මට කතා කරලා මේ කරපු වැඩේ ගැන කියලා ඇඬුවා. මුහුණුපොත හරහා ගොඩක් පණිවුඩ ලැබෙමින් ද පවතිනවා. කලාකරුවෙක් විදිහට මට කරන්න පුළුවන් උපරිම ගරුත්වය මම එතුමට දුන්නෙ.

‘හමාර බණවර’ ගීතය ගැන මොකද හිතෙන්නේ?

හමාර බණවර ගීතය මීට අවුරුදු හයකට කලින් කරපු ගීතයක්. අදටත් මේ ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තව අවුරුදු සියයකට වුණත් මේ නිර්මාණය ගැළපෙනවා. කලාකරුවෙක් විදිහට ගීතය සමග මම සාර්ථකයි කියලා හිතනවා.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ නිවෙසින් එහෙම කතා කළාද?

නැහැ. මට එහෙම කතා කළේ නැහැ. නමුත් මට වුවමනාවක් තිබුණා එතුමාගේ පොඩි පුතාට මෙම ගීතය යවන්න. මට තවම ඔහුව සම්බන්ධ කරගන්න බැරි වුණා. මම විශ්වාස කරනවා ඔහුගේ ගෙදර අයත් මේ ගීතය අහන්න ඇති කියලා.

අවසන් කටයුතු වෙලාවේ මේ ගීතය ඇහෙනකොට ඔබට මොනවද හැඟුණේ?

මට හිතුණේ එකම දෙයයි. වෙන්න ඕනෑ දේ වුණා කියලා තමයි හිතුණේ. මොකද එතුමත් අන්තිම කැමැත්ත අනුව මේ ගීතය අහන්න කැමතියි කියලත් කියලා තියෙනවානේ. හැම නාළිකාවකින්ම වගේ ඒ ගීතය වාදනය කළා. මට හිතෙනවා නාළිකාවලිනුත් ගීතයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා.

කොහොමද සංගීත වැඩකටයුතු?

මේ දවස්වල සංගීත ප්‍රසංග සමග කාර්යබහුල වෙලයි ඉන්නේ. ඉදිරියේදී විදෙස් සංචාර කිහිපයකටත් සහභාගි වීමට නියමිතයි.

මෙතල ගීතය අඩංගු රෝමියෝ චිත්‍රපටයත් තිරගත වුණා නේද?

ඔව්. මගේ මෙතල ගීතය අඩංගු රෝමියෝ පසුගිය 11 වැනිදා තමයි තිරගත කිරීම සිද්ධ වුණේ. දැනටත් ඉන්දියාවේ මෙම ගීතය වෛරල් වෙනවා. ඊළඟ චිත්‍රපටයටත් ආරාධනා ලැබිලයි තියෙන්නේ.

චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වුණාද?

මංගල දර්ශනයට ආරාධනා නම් ලැබුණා. හැබැයි තිබුණ වැඩත් එක්ක යන්න වුණේ නැහැ. මොකද මට මීට කලින් ලංකාවේ භාරගත්තු වැඩ කිහිපයක් තිබුණා. ඒවාට සහභාගි නොවුණොත් මිනිස්සු තරහා වෙනවානේ.

අවසන් කටයුතු කරන වෙලාවේ ඔබට එතැනට ගිහිල්ලා ගායනා කරන්න පුළුවන් වුණා නම් මොකද කරන්නේ?

අනිවාර්යයෙන්ම, මට එහෙම අවස්ථාවක් තිබුණා නම් මම ඒ වැඩේ කරනවා. මට එතැනට යන්න බැරි වුණ හින්දයි මම ගීතය කරලා සමාජ මාධ්‍යයට මුදාහැරියෙ. මට කොහොමත් ඕනෑ වුණේ එතුමාගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරලා දෙන්න. මම හිතනවා මම ඒ

ආසාව ඉෂ්ට කළා කියලා. කලාකරුවෙක් විදිහට මම එතුමාට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දුන්නා.

දිනේෂ් විතාන
ඡායාරූප – අන්තර්ජාලය ඇසුරිනි.

advertistmentadvertistment
advertistmentadvertistment