කොතලාවල උපාධි කඩෙන් ගැටලු ගණනාවක් මතු වෙනවා

55

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොතලාවල වෛද්‍ය පීඨය හරහා මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ කැබිනට් තීරණය හේතුවෙන් බරපතළ ගැටලු ගණනාවක් උද්ගතව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුව තිබුණත් මේ තීරණය හරහා මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය අභියෝගයට ලක්කර ඇතැයි ද එම සංගමය චෝදනා කරයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව කොතලාවල වෛද්‍ය පීඨයට මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධිය ලබා ගැනීමට ප්‍රථමවරට දේශීය සිසුන්ට අවස්ථාව ලබාදීමේ තීරණය පිළිබඳව බරපතළ ගැටලු

ගණනාවක් නිර්මාණය වී ඇතැයි ද එම සංගමය පෙන්වාදෙයි.

එමෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ මතය හෝ නොවිමසා මෙරට සෞඛ්‍ය පද්ධතිය සහ වෛද්‍යවරුන්ගේ අනාගත අවශ්‍යතාවය පිළිබඳ කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ශ්‍රී ලාංකීය වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ වැරදි ප්‍රතිපත්තිය තවමත් ක්‍රියාත්මක බව සහ එහි අහිතකර ප්‍රතිවිපාක නුදුරු අනාගතයේදීම මෙරට වෛද්‍ය අධ්‍යාපනයට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද එම සංගමය පවසයි.

මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් ජනතාව ඉදිරියේ වගකීම භාර ගැනීමට බලධාරීන්ට සිදුවනු ඇති බවත් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මක බව රැකගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිරතුරුව කොන්දේසි විරහිතව සටන් කරන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment