මහවැලි කලාප 10 තුළ ගෙවතු ලක්ෂ හතරක් ඇරඹේ… කාබනික පොහොර නිෂ්පාදනයත් සිදුකෙරේ…

310

වාරි සෞභාග්‍යා කෟෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ මහවැලි කලාප කේන්ද්‍රගතව ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් බල ගැන්වෙන ගෙවතු වගා සංග‍්‍රාම ජාතික වැඩසටහන පසුගියදා මහවැලි කේන්ද්‍රයේ දී සමාරම්භ කෙරිණි.

මේ යටතේ මහවැලි කලාප 10 තුළ ගෙවතු ලක්ෂ 4 ක් ගෙවිලියන් වෙත ලබාදීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම අධිකාරිය මගින් සිදුකරනු ලබයි. ‘‘මහවැලියෝ” නමින් නම්කර ඇති මෙම වැඩසටහන මගින් මහවැලි ජන ජීවිතය නගාසිටුවීම, ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ දැමීම හා ඔවුන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයද සිදුකරනු ලබන බව මහවැලි අධිකාරිය පවසයි.

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වූ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ රටට අවශ්‍ය බීජ නිෂ්පාදන කටයුතු සහ පොහොර නිෂ්පාදන කටයුතු මහවැලිය තුළින් ආරම්භ කර තිබෙන බවත් නිරෝගි ඵලදායි පරපුරක් බිහි කිරීම සඳහා ගෙවත්ත තුළ ඒකාබද්ධ සුරක්ෂා ගොවිපළක් ඇති කරලිය යුතු බවයි.

මහවැලි කලාප 10 තුළ ගෙවතු ලක්ෂ හතරක් ඇරඹේ... කාබනික පොහොර නිෂ්පාදනයත් සිදුකෙරේ...

‘‘කාබනික පොහොර පිළිබඳව ගොවි මහත්වරුන්ගේ ලොකු විශ්වාසයක් නැති බව පේනවා. ඒ නිසා ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට නම් ඔවුන්ව දැනුවත් කරන්න වෙනවා. ඒ වගේම අස්වැන්නේ යම් අඩුවක් සිදුවෙනවා නම් එයට යම් සහනයක් ලබාදීමට කටයුතු අපට පුළුවන්. විවිධ අයගේ පෙලඹවීම් නිසා නොමග ගිය පිරිසක්ද ඒ අතර සිටින බව පේනවා. නමුත් රජය වාරි ව්‍යාපෘති වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. ඒනිසා රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවි මහත්වරුන්ගේ වගකීමයි” බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මහවැලි බීජ සන්නාමය ප‍්‍රවර්ධනය කිරීම, මහවැලි ගෙවතු ලක්ෂ හතරක් පිහිටුවීම, වාරි සෞභාග්‍යා

සන්නිවේදන කේන්ද්‍රය ස්ථාපිත කිරීමද මෙහිදී සිදුකෙරිණ. ඒ අනුව සුරක්ෂා ගොවිපලක් ලෙස ගෙවතු වගා සහ සත්ව පාලනය, අතිරේක බෝග බීජ නිෂ්පාදනය, කාබනික වී වගා ප‍්‍රවර්ධනය, කාබනික පොහොර ප‍්‍රවර්ධනය, උද්‍යාන බෝග හා වාණිජ වගා ප‍්‍රවර්ධනය කළ යුතු බවද මෙහිදී පැහැදිලි කෙරිණ.

මෙහිදී මහවැලි කලාප ආශ‍්‍රිත ඇළ වේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාද අදහස් දැක්වීය.

‘‘මහවැලි කලාප ගෘහ ඒකක පාදක කරගනිමින් කාබනික ගෙවතු වගා සංවර්ධනය කිරීමට අප මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රසායනික පොහොර භාවිතයෙන් සිදු කරන වගාව වෙනුවට කාබනික වගාවට අවතීර්ණ වීම තුළින් නිරෝගිමත් ඵලදායි පරපුරක් බිහිකර ගැනීමට අවශ්‍ය බව අප සියලූ දෙනා අවිවාදයෙන් පිළිගත යුතුයි. ඒ වගේම තමන්ගේ ගෙවත්ත තුළ එලවළු, පලතුරු, ධාන්‍ය වර්ග, අල වර්ග, කිරි, බිත්තර ආදිය නිෂ්පාදනය කර ගැනීමෙන් එදිනෙදා පරිභෝජනයට වගේම එම නිෂ්පාදන අලෙවිය තුළින් අතිරේක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ අනුව ගෙවත්තට අවශ්‍ය කාබනික පොහොර සහ කෘමි පාලනයට අවශ්‍ය රසායනික නොවන පලිබෝධ දියර ගෙවත්ත තුළම නිෂ්පාදනය කර ගැනීමට ගොවි මහත්වරුන් සැලසුම් කළ යුතුයි” අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

සටහන සහ ඡායාරූප
සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment