ජනපතිට එරෙහිව ලිට්‍රෝ නඩුව බෑ – අභියාචනාධිකරණය තීරණය කරයි

174

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් මිලදී ගැනීමේ ටෙන්ඩරයක් අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සමක වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජනාධිපතිවරයාට එරෙහිව එම නඩු කටයුත්ත පවත්වාගෙන යෑමට නොහැකි බව අභියාචනාධිකරණය ඊයේ (08 දා) තීරණය කළේය.

විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළව රුවන් ප්‍රනාන්දු සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුණි.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා නම් කර තිබූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව මෙම නඩු කටයුත්ත පවත්වාගෙන යෑමට නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා විසින් මීට පෙර අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණි.

එම මූලික විරෝධතා පිළිගත් අභියාචනාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව මෙම නඩු කටයුත්ත පවත්වාගෙන යෑමට නොහැකි බව තීන්දු කළේය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා එය මාර්තු මස 15 වැනිදා යළි කැඳවන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

කෙසේ වෙතත් මෙම පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම, එහි සභාපති මුදිත පිරිස්, හිටපු අගමැති උපදේශකවරයකු වන සාගල රත්නායක, සියම් ගෑස් ටේ්‍රඩිං සමාගම, ඕ. කිව්. ටේ්‍රඩිං සමාගම, ඇක්ටිව්ස් ඔයිල් ඉන්ඩස්ටී්‍රස් සප්ලයර්ස් සමාගම ඇතුළු අටදෙනකු නම් කර ඇත.

පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු කියා සිටින්නේ ඉකුත් වසරේ ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර කැඳවූ බවත් එහිදී ගෑස් මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 96 කට සැපයීමට සියම් ගෑස් සමාගම ඉදිරිපත්ව සිටියදී එය ප්‍රතික්ෂේප කොට ගෑස් මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 129කට ඇක්ටිව් ඔයිල් ඉන්ඩස්ට්ටී්‍රස් නමැති සමාගමෙන් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කර ඇති බවය.

එබැවින් එම ගනුදෙනුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉකුත් වසරේ ජූලි මස මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment