බංකොලොත් දේශපාලනය වහන ඔන්ලයින් පනත හා ජනතා ඇන්දවීම

222

ආණ්ඩුව විසින් ලහිලහියේ සම්මත කරන ලද ‘ඔන්ලයින්’ හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එල්ලවී තිබෙන විවේචන පමණක් නොව චෝදනා ඉතා බරපතලය. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, කැනඩාව මෙම පනත සම්බන්ධයෙන් දක්වා තිබෙන්නේ කනස්සල්ලකි. එය කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මාධ්‍ය නිදහස පිළිබඳ සාධනීය ප්‍රතිඵල උදාකර නොදෙන්නක් බවද පෙන්වා දී තිබේ. මේ රටවලට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය, ජිනීවා මානව හිමිකම් කොමිසම, ආසියානු අන්තර්ජාල සංවිධානය වැනි තවත් ක්‍රියාකාරී ආයතන ගණනාවකම නොකැමැත්ත ද මෙම පනතට එරෙහිව ප්‍රකාශයට පත්ව තිබේ. පාර්ලිමේන්තු වාර අවසානයට කලින් මෙම පනත සම්මත කර ගැනීම ආණ්ඩුවට තිබුණු හදිස්සිය කුමක්දැයි ඒ ක්‍රියාදාමය වෙනුවෙන් පෙනී සිටි අය හැර අන් කිසිවෙක් නොදනිති. පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකළ පොහොට්ටුවේ නායක මහින්ද ඇතුළු කණ්ඩායමට වුවද මේ පනත සම්මත කිරීමේ ආන්දෝලනාත්මක මෙහෙයුම පිළිබඳ වගකීමෙන් නිදහස් විය නොහැක. මෙම පනත කල් දැමීමට හෝ ඒ සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් ඇති කිරීමට හෝ කිසිදු අවස්ථාවක් නොලැබුණේද පොහොට්ටුවේ හිස් ඔළුගෙඩිවල බලය නිසා බව ද නිසැකය.

කෙසේ වුවද ඉකුත් 24 වැනිදා සම්මත කරන ලද මෙම පනතට කථානායකවරයා අත්සන යෙදීමට පෙර යළිත් පක්ෂ නායක රැස්වීමක් පවත්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් ද කර තිබේ. එයට හේතුවී ඇත්තේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සංශෝධන එයට ඇතුළත් නොකිරීම බව ද වාර්තා වේ. එම තීන්දුවේ සඳහන් සංශෝධන 31 එහි අඩංගු නොවන බව විපක්ෂයේ මතය වී තිබේ. පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවද දෙමළ සංධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා එම සංශෝධන නොමැති බව පෙන්වා දී ඇත. පාර්ලිමේන්තු විවාදය පිළිබඳ සජීවී විකාශනයේදීත් සුමන්තිරන් නැගී සිටිමින් එය සඳහන් කළ ආකාරය ද දැකගත හැකි විය. කුමක් වුවත් මේ පනත ඉදිරිපත් කළ මොහොතේ සිටම අවසානය දක්වාම ආණ්ඩුවේ නායකයන් හැසිරුණු ආකාරය ඔවුන්ගේ තර්ක විතර්ක ආදිය දෙස බලද්දීත් එය ප්‍රශ්නකාරී එකක් බව කෙනෙකු තුළ වුව ඇති විය හැකි අදහසකි.

මේ රටේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ද විවේචන තිබේ. සමාජ මාධ්‍ය ඊටත් වඩා විවේචනයට හා දෝෂ දර්ශනයට ද ලක්වූවකි. කිසිදු නියාමනයකින් තොරව ඇතැම්විට සදාචාරය, යුක්තිය පමණක් නොව භාෂා භාවිතයෙහි මූලධර්මයන් පවා නොතකන සමාජ මාධ්‍ය ප්‍රතිචාර තිබෙන බව රහසක් නොවේ. කිසිදු සත්‍යයක් හෝ පදනමක් නොමැති අපහාස, ගැරහුම්, නිර්මාලාප යොදා ගනිමින් පෞද්ගලිකත්වය විනාශ කිරීම සඳහා ද සමාජ මාධ්‍ය භාවිතා වේ. දේශපාලන ප්‍රචාරය නායකයන්ගේ ප්‍රතිරූපය ගොඩනැංවීම, වෙනත් ආගමික හා වෙළෙඳ ප්‍රචාරක කටයුතු ඇතුළු බොහෝ දේවල් සඳහා මෙම සමාජ මාධ්‍ය භාවිත කෙරේ. එයට අමතරව විවිධ දුෂ්ට අරමුණු, මෙන්ම අපරාධ දුරාචාර ක්‍රියා ආදියට ද මෙම සමාජ මාධ්‍ය යොමුවී තිබේ. ‘හොඳට නරකට දෙකය කටමය’ යන ජනවහරේ එන පරිදි අද මෙම සමාජ මාධ්‍ය හොඳ නරක යන භේදය ඇතුළු කිසිදු සාරධර්මයක් සම්මතයක් නොතකා යොදා ගැනීම බරපතල සමාජ ප්‍රශ්නයක් වී තිබේ. කොටින්ම වගකීමක්, වගවීමක් නැති වල්බූරු නිදහසකින් සමාජ මාධ්‍ය භාවිතා කරන සුළු පිරිස වළක්වා, නීතිය ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාව මෙබඳු නියාමනයක අභිලාෂය විය යුතුය. එබඳු කාර්යක් සඳහා සමස්ත පාර්ලිමේන්තුවට එකඟ විය හැකි බව ද නිසැකය.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස යනු ව්‍යවස්ථානුකූල අයිතියක් නැතහොත් හිමිකමක් වුවත් ඒ සම්බන්ධයෙන් සීමා, නීති රීති හා වාරණයක්ද තිබේ. විශේෂයෙන් සාහිත්‍යය, සිනමාව, නාට්‍ය, සංගීතය ඇතුළු සියලුම සෞන්දර්ය කලාවන් සම්බන්ධයෙන් නීති රීති තිබේ. මහජන ප්‍රදර්ශනයට පෙර ඇතැම් කලා මාධ්‍ය සඳහා අනුමැතියක් ලබාගැනීමට ද අවශ්‍යය. එසේ වුවද කලා නිර්මාණ සම්බන්ධයෙන් පනවනු ලබන වාරණ තහනම් නියෝගවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට අයිතියක්ද තිබේ. චිත්‍රපට සාහිත්‍ය වැනි නිර්මාණ සඳහා පැනවූ වාරණ එලෙස ඉවත් කරගත් අතර ඒවාට වන්දි ගෙවීමට ද සිදු වූ අවස්ථා ද වේ. කලාව සම්බන්ධයෙන් වාරණයට අමතරව වෙනත් සම්මුතීන්ද තිබේ. සම්මුතිය පොදු එකඟතා අනුව ඇතිකරගත් සමාජ බැඳීමකි. ඒ හැම දෙයකින්ම අපේක්ෂා කළේ සමාජ යහපතය. සමාජ සාරධර්ම ආරක්ෂා කිරීමය. වාර්ගික හා ආගමික ගැටුම් නොමැති සමාජයක් උදෙසා එබඳු නීති පනවනු ලැබ තිබේ. එහෙත් මෙම ඔන්ලයින් පනත සමාජ ආරක්ෂාවක් යැයි කිව හැකිද?

මෙහිදී ආණ්ඩුවට එරෙහි වන ඕනෑම සමාජ මාධ්‍ය ප්‍රතිචාරයක් වරදක් බවට අර්ථකථනය කළ හැකිද? ජනාධිපතිවරයකු පත් කරනු ලබන කමිටුවල ස්වාධීනත්වය කෙබඳුද? ඇමැතිවරුන්, ජනාධිපතිවරුන් විසින් පත් කරනු ලබන අය ක්‍රියා කරන්නේ ස්වාමියාගේ අභිමතය පරිදි විය හැකිය. විශේෂයෙන් අද සමාජ මාධ්‍ය විසින් සියලුම විද්‍යුත් හා සමාජ මාධ්‍ය අභිබවා ගිය ජනප්‍රියත්වයක්ද හිමිකර ගනු ලැබ තිබේ. එහි සීමාව පුළුල්ය. ව්‍යාප්තිය වේගවත්ය. දේශ සීමා ඉක්මවා යන ප්‍රබල තාක්ෂණයක් ද ඇත. එහෙත් අද ඒ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ගැටලු හා ප්‍රශ්න තිබෙන බව ද රහසක් නොවේ. අප ඉහත දැක්වූ මාධ්‍ය නීති රීති සම්මුතීන් කිසිවක් නොමැති අයාලේ යන ස්වභාවයක් මේ මාධ්‍ය භාවිතයෙහි තිබෙන බවද අපි දනිමු. සමාජ ආකල්ප, ආගමික වටිනාකම්, සාරධර්ම භාෂාවේ සංවරය ආදී කිසිවකට යටත් නොවන, නරුම නිදහසක් ආරෝපනය කර ගැනීමට සමහරු මෙහිදී පෙළඹී සිටිති. චරිත ඝාතන, පදනම් විරහිත චෝදනා පමණක් නොව අසභ්‍ය සහ අශිෂ්ට නිරූපන, කාමොද්දීපන ප්‍රකාශ ආදිය ඉවක් බවක් නැතිව යොදා ගන්නා අය මේ සමාජ මාධ්‍ය අවභාවිත කරන්නෝ බවට විවාදයක් නැත. පොදු සමාජය ගැන හෝ මනුෂ්‍යත්වයේ අභිමානය ද නොතකන එබඳු සමාජ මාධ්‍යවලින් සිදුවන අගතිය අප්‍රමාණ ය. එනිසා එබඳු ‘වල්බූරු නිදහසක්’ සමාජ මාධ්‍යයට ද තිබිය යුතු නැත. ඒවා පොදු යහපත උදෙසා නියාමනය කිරීමේ නීති රීති අවශ්‍යය.

ආණ්ඩුව ලහිලහියේ සම්මත කළ මෙම ඔන්ලයින් පනත ඉහත කී මහජන යහපත හෝ සමාජ සාධාරණය ඉටුකරන නීතිරීති මාලාවක් නොවන බව ඒ සම්බන්ධයෙන් තිබෙන විවේචනයෙහි හරයයි. නීතිය යනු පොදු සමාජ අවශ්‍යතාවකි. ඇතැම්විට අලුත් නීති පැනවීමට ද කාලීනව සිදුවේ. කලකට පෙර සේපාල ඒකනායක නම් අයෙක් ගුවන් යානයක් පැහැර ගැනීම නිසා ඒ නීතිය පැනවීමට ලංකා ආණ්ඩුවට සිදුවිය. මෙම ඔන්ලයින් නීතිය ද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නීතියට යටත් නොවන නිසා එයට නියාමන ක්‍රමවේදයක් තිබිය යුතුය. එහෙත් ආණ්ඩුව මේ පනත මගින් බලාපොරොත්තු වන්නේ එබඳු පොදු යහපතක් නොව තමන්ගේ බල දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් එම මාධ්‍යයට තිබෙන නිදහස අහිමි කිරීම ය. එයට හේතු ගණනාවක් ද ඇත.

බංකොලොත් දේශපාලනය වහන ඔන්ලයින් පනත හා ජනතා ඇන්දවීම

මේ ආණ්ඩුව මහජන මතයට බිය, එනිසාම ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් යටපත් කරන එකක් බවට චෝදනාවක් ඇත. පළාත් පාලන මැතිවරණය කල්දැමූ ආකාරය එයට ප්‍රබල සාක්ෂියකි. ආණ්ඩුවේ සමාජ දේශපාලන ප්‍රතිචාර ගැන තිබෙන විවේචන ද සුළුපටු නැත. ඒ සියල්ල ජනතාව අතරට රැගෙන යන්නේ මෙම සමාජ මාධ්‍ය මගින් ය. කොතැනක හෝ අනීතික දෙයක් සිදුවී පැය කිහිපයක් ඉකුත්වීමට පෙර එය සමාජගත කිරීමේ ක්‍ෂණික ක්‍රියාදාමයක් මෙම සමාජ මාධ්‍ය නිසා සිදුවෙයි. ආණ්ඩුවේ සීමාවන්ට අයත් නොවන සහ පාලනය කළ නොහැකි බොහෝ පුවත්, සිදුවීම් සමාජ මාධ්‍යකරුවන් කිසිදු චකිතයකින් තොරව ඉදිරිපත් කිරීම පාලකයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද ප්‍රශ්නයක් වී තිබේ. ආණ්ඩුව මේ පනත මගින් අපේක්ෂා කරන්නේ තමන්ට, තම පාලන තන්ත්‍රයට එරෙහිව නැඟෙන එබඳු පුවත් අනාවරණයන් සියල්ලම සඟවා තැබීමටත් ඔවුන්ට රිසි රිසි අයුරින් නිල – බල භාවිත කිරීමටත් සුදුසු රාමුවක් සාදා ගැනීම ය. විපක්ෂ නායක සජිත් පවසන්නේද මෙම පනත ජනතාවගේ දේශපාලන අයිතිය කොල්ල කන්නක් බවය. මෙයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් උල්ලංඝනය වන බවය. ස.ජ.බ ආණ්ඩුවකදී මේ සාහසික නීතිය ඉවත් කරන බවද ඔහු සඳහන් කරයි.

ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව කෙරෙහි බහුතර ජනතාවගේ ප්‍රසාදයක් නැත. අද ජනතාවට සිදුව තිබෙන්නේ රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නඩු තීන්දුවකින් තහවුරු කරන ලද පිරිසක් කළ විනාශයට වන්දි ගෙවීමට ය. ඒ අය තවමත් වරප්‍රසාද ලබති. ජනතාව දුෂ්කරතා පීඩන මැද කඹුරමින් සිටිති. එවැනි පිරිසකට යළි බලය දීමට ජනතාව සූදානම් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. දේශපාලන වශයෙන් පිරිහී ගිය විවිධ චෝදනාවලට ලක්වූ කිළිටි අරමුණු හා දෑත්වලින් යුතු අය තම පව් සෝදා ගත් විලාසයකින් කරන කතා පමණක් නොව ඔවුන්ගේ දේශපාලනය ද ජනතාවට අමිහිරිය. එනිසා එළැඹෙන මැතිවරණයකදී ඔවුන්ට ලැබිය හැකි දේශපාලන ප්‍රතිචාර කෙබඳුදැයි ඔවුහු හොඳින් දනිති. එහෙත් ඔවුන්ට මේ බලය වුවමනා ය. ඒ බලය අතහැර යෑමට ඔව්හු රිසි නොවෙති. ඒ සඳහා කළ හැකි හැම දෙයක්ම කිරීමට ද ඔව්හු පසුබට නොවෙති. ඇත්තටම ඔවුන්ගේ මතය තුළ ඇත්තේ කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හෝ තම පවිටු අරමුණු දිනා ගැනීමය. මේ ඔන්ලයින් පනත මෙහි එක් පියවරක් විය හැකි බවට කරන චෝදනාවට ද පදනමක් තිබේ. එය මැතිවරණය දෙස බලා කරන ලද්දකැයි සිතීමට හේතුද තිබේ.

අද තිබෙන සංකීර්ණ සමාජ දේශපාලන පසුබිම තුළ පරාජයෙහි අමිහිර දන්නා කවර අණ්ඩුවක් වුවද නිකම්ම තම බලය අතහැර යනු ඇතැයි සිතිය හැකිද? මැතිවරණයක් පැවැත්වීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින බවට හෝ මේ ආණ්ඩුව කැපවනු ඇතැයි සිතිය හැකිද? මේ පාලනයට එරෙහිව පෙළ ගැසෙන දේශපාලන ප්‍රවණතාවක් අද තිබෙන බවද ආණ්ඩුව දනී. එසේ නම් ඉහත දැක්වූ පරිදිම මෙම සම්ප්‍රදාය ප්‍රභූ දේශපාලනයේ පැවැත්ම අනතුරක් අබියස බව ඔව්හු දනිති. එළැඹෙන කවර හෝ මැතිවරණයකදී රාජ්‍ය බලය හිමිවීමේ රටාව වෙනස් විය හැකි බව දේශපාලන විචාරකයෝ ද අනුමාන කරති. එය බලයේ වෙනස ඉක්මවූ ක්‍රමයේ වෙනසක් වන පෙරනිමිති ද දැකගත හැකිය. මෙතෙක් දේශපාලන ආධිපත්‍යය හිමිවූ ප්‍රභූ තන්ත්‍රයත් එහි නායකත්වයත් දුබල වී තිබෙන බව ද රහසක් නොවේ. 2022 ඇතිවූ මහජන විරෝධතාව විසින් අපේක්ෂා කරන ලද ක්‍රමයේ වෙනස, සඳහා වූ දේශපාලන පරිවර්තනයක් සිදුවිය හැකිය යන භීතිය ඒ ප්‍රභූ පන්තිය නියෝජනය කරන කඳවුරට ද දැනෙන්නකි. මෙතෙක් පැවැති සම්ප්‍රදාය බිඳ දමා අලුත් වෙනසක් සිදු වුවහොත් යන තිගැස්ම ඔවුන් තුළ තිබෙන බව ද නිසැකය. එහෙත් ජනතාව විසින් පලවා හරින ලද පාලනයක් – මර්දනය හා නීතිය මගින් තාවකාලිකව අටවා ගත හැකි වුවත් එයට ස්ථිරසාර පැවැත්මක් නැති බව ද ඔව්හු දනිති. ජනාධිපති රනිල් ඒ පාලනය නඩත්තු කිරීම වෙනුවට ජනතාවගේ අපේක්ෂා ඉටුකර තිබුණි නම් ආණ්ඩුවට කිසිදු චකිතයකින් තොරව මහජනයා ඉදිරියට යෑමට තිබුණි. එහෙත් ජනතාව මත සියලු පීඩන පටවමින් සුපුරුදු දේශපාලන සෙල්ලම සඳහා පිටිය සූදානම් කිරීමට අද සිදුවී තිබෙන බව නොවේද පෙනී යන්නේ?

ජනාධිපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ සැලැස්ම ක්‍රියාවට නඟන බවට තවමත් විවේචන තිබේ. එහෙත් හෙට රට භාරගන්නා අයගේ ආර්ථික සමාජ දේශපාලන න්‍යාය පත්‍රය කුමක්දැයි හරියට පැහැදිලි නැත. එසේම රට බින්දුවට දැමීමට දායක වූ රාජපක්ෂවරුන්ට දෙස් දෙවොල් තියෙන අයට යළිත් මොන උප්පරවැට්ටියකින් හෝ බලය ලබා ගැනීමේ පිපාසයකින් පෙළෙන බව ද පෙනේ. 2022 ජනතා අරගලයක් වූ බව පිළිගන්නා අය තවම පවසන්නේ යල්පීනු දේශපාලන අධිකාරය දෙදරා ගොස් තිබෙන බවත් නව සමාජ පරිවර්තනයක අපේක්ෂාව විජයග්‍රහණය කළ යුතු බවත්ය. අප කල්පනා කරන්නේ ද මේ අලුත් දේශපාලන පරිවර්තනය කල් නොදැමිය හැකි බවය. කොහොමටවත් නිර්ප්‍රභූ දේශපාලනය බිජුවටක් දලුලා වැඩෙන සමාජ අවකාශයක් තිබෙන බව ද අධිපතිවාදී පාලක පන්තියද තේරුම් ගෙන සිටිති. එ.ජා.පය, පොදුජන පෙරමුණ, ශ්‍රී. ල. නි. පය වැනි ප්‍රධාන දේශපාලන පක්ෂ එක් පැත්තකත්, එජාපයෙන් කැඩී ගිය ස. ජ. බ තවත් පැත්තකත් සිටින බව රටටම පෙනෙන දේශපාලන යථාර්ථය වී තිබේ. මේ තත්ත්වය වටහාගත් දේශපාලන විඥානයක් සහිත ජනතාවක් ද අද සිටිති. ආණ්ඩුව උනන්දු වන ප්‍රතිත්‍රස්ත පනත මෙන්ම ආන්දෝලනයකට තුඩු දී තිබෙන සම්මත වූ ඔන්ලයින් පනත ගැනද ඒ ජනතාව සංවේදී වෙති. එසේම මේවා දෙස බලා සිටින ජාත්‍යන්තරය මෙන්ම ජගත් සංවිධාන රජයෙන් ඉල්ලා ඇත්තේ ද මේ අනීතික වැඩ කටයුතු නවත්වා ප්‍රජාතන්ත්‍රවාදය අනුව මහජන මතය විමසා බැලීමට උචිත වාතාවරණයක් සකස් කළ යුතු බවය. එහෙත් පාලකයන්ට වුවමනා ඒ සියල්ලටම උඩින් පැන හෝ තම පාලනය ඒ ඒ පන්තිය සුරක්ෂිත කිරීම බව ද පැහැදිලිය. අවසාන වශයෙන් අපට එක් දෙයක් කිව හැකිය. එනම් මොන සන්ධාන හැදුවත් ජනතාව ඇන්දවීමට නම් නොහැකි බවය. පරණ උපමාවකින් කියන්නේ නම් පරණ හා දුර්වර්ණ වී ගිය බෝතල්වලට අලුත් වයින් දැමීම නිෂ්ඵල බවය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment