චූන් පාන් සංචාරකයා සහ දේශීය සංචාරක ව්‍යාපාරිකයා

1005

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරයෙන් සැලකිය යුතු කොටසක් රුසියානු සහ යුක්රේන ජාතිකයන් විසින් අත්පත් කර ගැනීමත් සමග අර්බුදයක් හටගෙන තිබේ. මේ අර්බුදය හටගන්නේ ලෝක සංචාරක ව්‍යාපාරයේ ස්වරූපය එහෙම පිටින්ම වෙනස්ව තිබෙන අවස්ථාවකය. මෙයට දශක දෙකකට පමණ පෙර සංචාරක ව්‍යාපාරය යනු මේ රටට විශාල වශයෙන් විදේශ විනිමය උපයා දුන් ලාභදායක ව්‍යාපාරයකි. ඒ කාලයේදී විදේශීය සංචාරකයන් ලංකාවට පැමිණ පළමු වන සතියක පමණ කාලය කොළඹ පිහිටි තරු පහ, තරු හතර සහ තරු තුන යන ශ්‍රේණිවල සංචාරක හෝටල්වල කල්ගත කරමින් බස්නාහිර පළාතේ විවිධ තැන් නැරඹූහ. ඔවුන් කොළඹ සිට ක්‍රියාත්මක වීමෙන් කුලී රථ රියැදුරන්ට බිස්නස් එකක් ලැබිණ. ඔවුන් බස්නාහිර පළාතේ සංචාරය කරනවිට ගැමි ජීවිතය ගැන අත්දැකීමක් ලබාගැනීම සඳහා පාර දෙපැත්තේ කඩවලින් රුපියල් දාහට තැඹිලි පානය කළහ. බත් කඩවලින් රුපියල් හැත්ත පහේ පත් එක රුපියල් දාහට අනුභව කළහ. මේ පළමු වන සතියෙන් පසු ඔවුන් කෙළින්ම ගියේ දකුණු පළාතට හෝ මධ්‍යම කඳුකරයට ය. මෙවැනි එක සංචාරකයෙක් ලංකාවේ මාසයක් කල්ගත කළ විට අඩුම ගණනේ ඩොලර් දසදහසකවත් ආදායමක් රටට ලැබිණ. අද තත්ත්වය හාත්පසින්ම වෙනස් ය. මෙකල සංචාරකයෝ දෙවර්ගයක් සිටිති. ඉන් පළමු කොටස නම් ෆන් එකක් ගැනීම සඳහා පිටරට සිට මෙරටට එන ධනවත් සංචාරකයෝ ය. දෙවැනි කොටස වන්නේ පිටේ බෑග් එකක් එල්ලාගෙන පාස්පෝට් එකත්, එයාර් ටිකට් එකත්, ඩොලර් හාරපන්සීයකුත් සාක්කුවේ දමාගෙන මෙරටට එන සංචාරකයන් ය. මේ දෙවර්ගයෙන් පළමුවන කොටස අද වන විට තරු පහේ හෝටලයක නවතින්නේ ලංකාවට පා තබන දවසේදී පමණි. දෙවැනි දවසේ බස්නාහිර පළාත අත්හරින ඔවුහු කෙළින්ම දකුණු පළාතට හෝ කඳුකරයට යති. අතේ ඩොලර් හාරසියයක් ඇතිව මෙහි ගොඩබසින සංචාරකයන් තරු පහේ හෝටල්වල නවතින්නේ නැත. ඔවුන් කෑම කන්නේ චූන් පාන්කාරයාගෙනි. ඔවුන් රාත්‍රි කාලයේදී ලැගුම් ගන්නේ දුම්රියපොළවල ය. වැසිකිළි යෑම, ස්නානය කිරීම ඔව්හු ඉතාම සිල්ලරට විසඳා ගනිති. මේ පිරිස මීට අවුරුදු පනහකට හෝ හැටකට පෙර ලෝකයේ තිබූ හිපි සංස්කෘතිය හා සම කිරීමට පුළුවන. හිපියා ද සංචාරකයෙකි. හෙතෙම නාන්නේ නැත. ඔව්හු ගංජා ගසමින් මහපාරවල්වල නිදාගනිති. ඇතැම් රටවල සිටින හිපි සංචාරකයෝ ජීවත්වීම පිණිස හිඟාකෑමේ නිරත වෙති. අපේ රටට එන දෙවැනි සංචාරක කොටස මගින් රටට ලැබෙන ආදායම ඉතාම ස්වල්පයක් වන අතර ඔවුන්ගෙන් ගොඩ යන්නේ ඔවුන් මෙරටට ඒම සඳහා ගුවන් යානය බුක් කරන එයාර් ලයින් එක පමණි.

මේ නිසා මෙයට අඩසිය වසකට පෙර සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම අපට ලැබෙන්නේ නැත. රුසියන් ජාතිකයන් සහ යුක්රේන් කට්ටිය අපේ සංචාරක ව්‍යාපාරයේ කොටසක් කඩා ගන්නේ මේ අතරය. එනම් සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින මෙරට ව්‍යාපාරිකයන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් ඔවුන් විසින් අතට ගනු ලැබ ඇත. මේ ගැන පසුගියදා කෝපා කමිටුවේදී සාකච්ඡා කරන ලද අතර එමගින් මේ ප්‍රශ්නයට නිල තත්ත්වයක් ලැබී තිබේ. අද දකුණු පළාතේ ත්‍රීවීලර් දුවන්නේ විදේශික සංචාරකයන් විසිනි. ඔව්හු කාගෙන් හෝ දවසේ කුලියට ත්‍රීවීලරයක් හයර් කරගෙන විදේශිකයන් ප්‍රවාහනය කිරීමේ නිරත වෙති. එසේම විදේශිකයන්ට කෑම සඳහා ලාභ ජොයින්ට් සෙට්කර දීම, ඔවුන්ට මුදල් මාරුකර දීම වැනි සියලු කටයුතු කරන්නේ පෙර කී සංචාරකයන්ය. මේ බිස්නස් එකේ වැඩිපුරම නිරතව සිටින්නෝ රුසියානුවෝත්, යුක්රේන් ජාතිකයෝත් ය. ඇතැම් යුක්රේන් ජාතිකයන් පුටින් බෝම්බ දැමීමට පෙර සිටම ලංකාවට පැමිණි අය වෙති. අද ඔවුන් තම ව්‍යාපාර මගින් බඩේ පාර දෙන්නේ සංචාරක ව්‍යාපාරයේ නිරත වන ලාංකිකයන්ට ය. හිට්ලර් දෙවන ලෝක යුද්ධය පටන් ගත්තේ ස්වදේශික ජර්මානුවන්ට කිරීමට ඇති සියලු බිස්නස් යුදෙව්වන් විසින් පැහැර ගනු ලැබීම නිසාය. මේ නිසා යුදෙව්වන්ට විරුද්ධව ජර්මන් ජාතිකයන් තුළ වෛරී මානසිකත්වයක් නිර්මාණය කිරීමට හිට්ලර්ට හැකි විය. ලංකාවේ ජනතාවට හිමි ව්‍යාපාර මෙරටට එන සංචාරකයන් විසින් පැහැර ගැනීම නිසා එම බිස්නස් මුලින් කළ ලාංකිකයෝ දැඩි අපහසුතාවකට පත්ව සිටිති. මෙය වෛරී මානසිකත්වයක ආරම්භය විය හැකිය. එබැවින් ලංකාවේ නීති විරෝධී ලෙස ව්‍යාපාර කරන විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් හැකි ඉක්මනින් කිසියම් පියවරක් ගැනීම ආණ්ඩුවේ වගකීම වේ.

advertistmentadvertistment
advertistmentadvertistment