ගාසා තීරයේ රෝහලක ප්‍රාණඇපකරුවන් දෙදෙනකුගේ සිරුරු

497

ගාසා තීරයේ තිබෙන විශාලතම රෝහල වන ‘අල් ශිෆා’ රෝහලට කඩා වැදී එහි සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති ඊශ්‍රායල හමුදාවන් හමාස් අන්තවාදීන් විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවාගෙන සිටි දෙදෙනකුගේ මළසිරුරු සොයාගෙන ඇති බව නිවේදනය කර තිබේ.

මේ යටතේ අල් ශිෆා රෝහල් සංකීර්ණයේ කොටසක තිබී හමාස් අන්තවාදීන් විසින් ඉකුත් ඔක්තෝබර් 07 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණඇපකරුවන් වශයෙන් රඳවාගත් ‘යෙහුඩ්ත් වයිස්’ නමැති 65 හැවිරිදි කාන්තාවගේ හා 19 හැවිරිදි ඊශ්‍රායල් හමුදා භටයෙකු වන නොවා මර්සියානෝ ගේ මළ සිරුරු මෙසේ සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙහිදී මියගොස් සිටි 65 හැවිරිදි කාන්තාව පිළිකා රෝගයකින් පෙළෙමින් සිට ඇති අතර ඇයගේ මළ සිරුර තිබූ ස්ථානයේ තිබී පුපුරන ද්‍රව්‍ය හා රයිෆල් කිහිපයක් සොයාගැනීමට ඊශ්‍රායල් හමුදා භටයන්ට හැකි වී තිබේ. ඉකුත් ඔක්තෝබර් 07 වැනිදා ඊශ්‍රායලයට ගුවනින්, මුහුදෙන් හා ගොඩබිමින් ප්‍රහාරයක් එල්ල කළ හමාස් අන්තවාදීන් විසින් 240 දෙනකු ප්‍රාණඇපකරුවන් වශයෙන් රඳවාගෙන සිටි බව නිවේදනය කර තිබිණි.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ඊශ්‍රායල හමුදා අල් ශිෆා රෝහලට කඩා වදින අවස්ථාවේදී එම රෝහලේ සිටි හමාස් අන්තවාදීන්ගේ අණදෙන නිලධාරීන් එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි. හමාස් සංවිධානය විසින් අල් ශිෆා රෝහල මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස යොදාගන්නට ඇති බව ඊශ්‍රායලයේ අදහස වී තිබේ.

මේ අතර ගාසා තීරයේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ආධාර රැගත් ට්‍රක් රථ එම තීරයට ගෙන ඒමට නොහැකි තත්ත්වයක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment