ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩල ඡන්දය – පාලක පක්ෂයට බලය අහිමිවන ලකුණු

306

වසර 40කට පසුව දරුණු උද්ධමනයකට මුහුණ පා සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉකුත් අඟහරුවාදා (08 දා) පැවති ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩල ඡන්ද විමසීමේදී පාලක ඩිමොක්‍රටික් පක්ෂයට කොංග්‍රස් මණ්ඩලයට අයත් මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (හවුස් ඔෆ් රිප්‍රසෙන්ටේටිව්ස්) බහුතර බලය අහිමිවන ලකුණු ඊයේ (10දා) දහවල් වන විට නිකුත් කර තිබූ ඡන්ද ප්‍රතිඵල අනුව පෙනී ගොස් තිබිණි.

මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සාමාජිකයන් 435 දෙනකු තෝරා පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊයේ දහවල් වන විට ප්‍රකාශිත ආසන 402න් 210ක් විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය විසින් දිනා ගෙන තිබූ අතර ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව තිබුණේ ආසන 192කි. ආසන 218ක් දිනා ගන්නා පක්ෂයට මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලන බලය හිමිවීමට නියමිතව තිබිණි. ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට අයත් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය කුමන පක්ෂයට හිමිවේ දැයි අනුමාන කළ නොහැකි තත්ත්වයක පැවති අතර ආසන 100කින් සමන්විත එම මණ්ඩලයේ ප්‍රකාශිත ආසන 96 න් ආසන 48ක් බැගින් පාලක ඩිමොක්‍රටික් පක්ෂයට හා විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයට සමසේ හිමිව තිබිණි.

ඊයේ දහවල් වන විට ඇරිසෝනා, නෙවාඩා හා ජෝර්ජියා යන ප්‍රාන්තවල සෙනෙට් ආසනවල ප්‍රකාශිත ඡන්ද ගණනය කරමින් තිබූ අතර එම ආසනවල ඡන්ද ප්‍රතිඵලය මත සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ පාලනය කාට හිමි වේදැයි තීරණය වීමට නියමිතව තිබිණි. මහජන මන්ත්‍රී මණ්ඩලයේ හා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලක පක්ෂයට අහිමි වුවහොත් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්තීන් නීතියක් වශයෙන් සම්මත වීම වැළක්වීමට රිපබ්ලිකන් පක්ෂයට අවස්ථාව ලැබේ. එවිට රාජ්‍ය පාලනය දැඩි අර්බුදයකට මුහුණපානු ඇතැයි විචාරකයෝ පවසති. මෙවර කොංග්‍රස් මණ්ඩල ඡන්ද විමසීමේදී බහුතර ඡන්ද දායකයන් විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමට හේතු වී ඇත්තේ වසර 40කට පසු ඇමෙරිකාවේ හටගෙන ඇති දරුණු උද්ධමනය බව සමීක්ෂණවලදී හෙළි වී තිබේ. පාලක ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ එම පක්ෂය විසින් කාන්තාවන්ට ගබ්සාවකට යොමු වීමට අයිතිය ලබා දීම බව හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment