බූරු අභිමානය – (මී හරක් කතාකරන්නට පටන් ගනිති)

1336

කිසියම් මායාවක් විසින් වශී කරන ලද පුද්ගලයකු හෝ මෝඩයකු හෝ අතට කඩුවක් ලැබුණොත් ඒකා මිනී මරන්නට පටන් ගන්නේ එක දිගට ය. උදාහරණයක් වශයෙන් අංගුලිමාල චරිතය ගනිමු. මිනිසුන් 999 කගේ බෙලි කපා මරා ඔවුන්ගෙන් එක ඇඟිල්ල බැගින් කපාගෙන ඇඟිලි මාලයක් තනා ගෙල පළඳාගෙන දහස් වැනි ඇඟිල්ල සොයා කඩුවත් රැගෙන යන විට සම්මා සම්බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට සම්මුඛ වූ සේක. එදා එසේ නොවන්නට කිසියම් මොහොතකදී අංගුලිමාල රාජපුරුෂයන්ට හසුවන අතර ඔවුහු එතෙක් අංගුලිමාල අතින් මියගිය අයගේ ඥාතීන් ද සමඟ අංගුලිමාලට නෙළන්නට පටන් ගනිති. එවිට කතන්දරය සම්පූර්ණය එළිවෙයි. අංගුලිමාලට ඇඟිලි මාල කොන්ත්‍රාත්තුව දුන්නේ දිසාපාමොක් ආචාරියා වන බැවින් මිනිසුන් ඔහුගේ ගේ ගිනි තබනු ඇත. එය ලංකාවේ මෝඩ හරකුන් වැනි ජනයා සිටින ප්‍රදේශයක් නම් අරගලයක් පටන් ගෙන මුළු පළාතේම ඇති දිසාපාමොක් ගෙවල්වලට ගිනි තැබීම සිදුවෙයි. එහෙත් භාග්‍යවත් ගෞතමයන් වහන්සේ එයට මැදිහත්ව සියල්ල විසඳා අංගුලිමාල ද බේරාගෙන ඔහු යහපත් භික්‍ෂුවක් බවට පත් කළහ. මෝඩයකු අතට මයික්‍රපෝනයක් ලැබුණ විට ද අංගුලිමාලගේ සංදර්ශනය වෙනත් ආකාරයකින් පුනරුච්ඡාරණය වෙයි. මීට ඇති ආසන්නතම උදාහරණය නතාෂා එදිරිසූරිය නමැති තරුණියක විසින් ‘මෝඩාභිමානය’ නමැති ප්‍රහසනයකදී කියන ලද ගොං කතාවකි. එම ගොං කතාව සම්පූර්ණයෙන් පුනරුච්ඡාරණය නොවීම පිණිස අපි කෙටියෙන් කියමු. අප කියවා ඇති බෞද්ධ සාහිත්‍යයට අනුව සිද්ධාර්ථ කුමාරොත්පත්තිය සිදු වූ අවස්ථාවේදී සිදුහත් කුමාරයා පියවර සතක් ඇවිද ගොස් “අග්ගෝ හමස්මි ලෝකස්ස” යනුවෙන් සිය අනාගත අරමුණ ප්‍රකාශයට පත් කළහ. නතාෂා එදිරිසූරිය මේ සිද්ධිය ඉතාමත්ම පහත් ලෙස උපහාසයට ලක් කරමින් මෝඩාභිමානයේදී ප්‍රහසනයක් ඉදිරිපත් කළාය. මේ කියන තරුණිය STAND UP COMADY නමැති ප්‍රහසන කලාංගය අනුව ප්‍රහසන ඉදිරිපත් කරන අතර ඒ හැම ප්‍රහසනයකදීම මේ රටේ ජන සමාජයටත්, සංස්කෘතියටත් අපහාස කරයි. උදාහරණයක් වශයෙන් බස් එකේ යන පිරිමි කලිසමේ සිප් එක ඇර රහස් ප්‍රදේශය පෙන්වීම ගැන ඇය නිතර කතා කරයි. ඇගේ ඊළඟ ජාතික ප්‍රශ්නය වන්නේ තමා විසින් අධික මිලකට ගන්නා ලද බ්‍රා එකේ පටිය පෙනෙන පරිදි ඇඳුම් ඇඳීමට ඇයට ඇති නිදහස ය. ඇතැම් ප්‍රහසනවලදී ඇය ඉංග්‍රීසියෙන් කුණුහරුප ද කියයි. උදාහරණයක් වශයෙන් තමා මේ දිනවල ස්ථුල භාවයට පත් වී ඇති බව එබඳු ප්‍රහසනයකදී කියන ඇය එයට හේතුව තමන් සංසර්ග ක්‍රියාවලියේ යෙදීම ලෙස අනෙක් අය සැක කරන්නේ දැයි ප්‍රශ්න කරයි. STAND UP COMADY යනු යුරෝපයේ ඉදිරිපත්කරන ප්‍රහසන කලා අංගයකි. ඒ ප්‍රහසන කලාංගය තුළදී ලිංගික කරුණු ද අසභ්‍ය වචන ද විශාල වශයෙන් භාවිත කරනු ලැබේ. ඒ ඉංග්‍රීසි කතා කරන යුරෝපයේ සංස්කෘතියේම කොටසකි. එබැවින් යුරෝපයේ ජනයාට එහි අවුලක් නැත. එහෙත් සිංහල සමාජය තුළ ප්‍රසිද්ධියේ කුණුහරුප දෙසා බෑමෙන් ද, ආගම්වලට අපහාස කිරීමෙන් ද ආගමික යුද්ධ හෝ සංස්කෘතික යුද්ධ හටගනී. එබැවින් නතාෂා එදිරිසූරිය වැනි අයගෙන් මයික්‍රපෝන් ඈත්කර තැබීම ජනතාවගේ යුතුකම වේ. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසියෙන් පවත්වන STAND UP COMADY වලදී ද ඉතා කැත කුණුහරුප සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් භාවිත කරන හැටි අපි අසා ඇත්තෙමු. ගැහැනියක හා පිරිමියකු නිදන ඇඳ මහ පාරට ගෙනැවිත් වර්ගයා බෝකිරීම සිදුකළ යුතු නැත. එසේ කරන්නේ සුනඛාදී තිරිසන් සතුන් පමණි.

නතාෂා එදිරිසූරිය සිය අසභ්‍ය ප්‍රහසනය ඉදිරිපත් කළ චිත්‍රාගාරය හිමිව ඇත්තේ ‘කළම්බු කමඩි සෙන්ට්‍රල්’ නමැති ආයතනයට ය. එය මංජු නිශ්ශංක නමැති පුද්ගලයකුට අයත් බව කියනු ලැබේ. එහෙත් නතාෂාගේ වැඩේ පත්තු වූ විට තමාට ඒ ගැන වගකීමක් නැතැයි කියමින් ඔහු ඇඟ බේරාගන්නට උත්සාහ කරයි. තර්කයක් වශයෙන් ගත්කල ආගමට අපහාස කිරීම සඳහා නතාෂාට යටිතල පහසුකම් සපයා ඇත්තේ මංජු නිශ්ශංකගේ ආයතනය මගිනි. ඒ නිසා මංජු නිශ්ශංක කැත වැඩ නොකර මේ සම්බන්ධයෙන් වගකීමක් භාරගත යුතු ය.

ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රශ්නයක් නැතත් එවැන්නක් ඇති කිරීම සඳහා බූරු කටවල් සහ මී හරක් මොළ සහිත පුද්ගලයෝ විටින් විට ඉදිරිපත් වූහ. එහිදී ඔවුහු බුදු දහමට පහර වදින පරිදි විවිධ කතා කීහ. ඒ අතර පිරිසක් BORN AGAIN නමැති ආගමික කල්ලියක් සමග එක්ව බෞද්ධයන් එම ආගමට බා ගැනීමට කටයුතු කළහ. BORN AGAIN යනු තනි ආගමක් නොව ආගමික සංකල්පයකි. මේ ආගමික සංකල්පය යටතේ කතෝලික කණ්ඩායම් විශාල ප්‍රමාණයක් විවිධ ආගමික සභා ලෙස සංවිධානය වී සිටිති. මේ සංවිධානවල නායකයෝ පූජකතුමා යන වචනය පාවිච්චි නොකරන අතර සහෝදරතුමා හෝ දේවගැතිතුමා යනුවෙන් තමන් හඳුන්වා ගනිති. හිටපු ගමන් බෞද්ධයකුට කරදරයක් වූ විට ඔහු වෙනුවෙන් ඉදිරිපත්වන මෙබඳු දේවගැතිවරු අදාළ පුද්ගලයා එම කරදරයෙන් මුදා ගත් බව කියමින් ප්‍රචාරයක් ගෙන යන්නට පටන් ගනී. එවිට බෞද්ධයෝ ඇවිස්සෙති. මෙය සමාන වන්නේ සෞදි අරාබියට ගොස් තොවිල් නැටීමට ගන්නා උත්සාහයටය. එවිට එම තොවිලයට සහභාගි වන සියලුම දෙනාට බෙල්ල නැතිව ගෙදර යෑමට අවස්ථාව ලැබෙනවා ඇත. සුප්‍රකට ගායක වික්ටර් රත්නායක රෝගීව කටහඬ නැතිව ගිය අවස්ථාවේදී ඉදිරිපත් වූ කිංස්ලි නමැති දේවගැතිවරයෙක් තමා විසින් වික්ටර් රත්නායක සුවපත් කළ බව කියමින් ප්‍රචාරයක් ගෙනයන්නට පටන් ගත්තේය. මෙවිට වික්ටර් ආගම මාරුකර ඇතැයි සිතූ බොදුනුවෝ කම්පාවට පත්ව විරෝධය පළ කළහ. දේවගැති ජෙරොම් ද බුදු දහමට අපහාස වන පරිදි කතා කිරීමෙන් විශාල අර්බුදයකට ගොස් රටින්ද පැන ගියේය. ඒ අතර මෝඩාභිමානයේම කොටසක් ලෙස දන්තධාතූන් වහන්සේ විහිළුවට ලක් කරමින් කතා කරන තවත් මීහරකෙකු පසුගිය දිනවල අපි දුටුවෙමු. අපගේ වැටහීමට අනුව මේ මීහරකුන් මෙවැනි බූරු කතා කියන්නේ තමන්ගේ ආතල් එක පිණිසත් ප්‍රසිද්ධියත් පතා ය. ආගමික යුද්ධයක් පටන් ගැනීමේ සංවිධානාත්මක අදහසක් ඔවුන් තුළ නැත. එහෙත් ආගමික යුද්ධයක් අවශ්‍ය අය මෙවැනි දේ ප්‍රයෝජනයට ගෙන කඩු මුවත් තියන්නට පටන් ගනිති. මේ පිළිබඳ තර්කානුකූල ලෙස සාකච්ඡා කිරීම අපි හෙටට කල් තබමු.

advertistmentadvertistment
advertistmentadvertistment