බිනර පොහොය හා කාන්තා විමුක්තිය

399

මසකට පොහොය දින සතරක් ඇතත් මෙ කල බොහෝ දෙන සිල් සමාදන් වන්නේ පුර පසළොස්වක පොහොය දිනයන්හි පමණකි. සැදැහැති බෞද්ධයෝ අන් කටයුතුවල නොයෙදී පොහෝ දිනයෙහි සිල් සමාදන් වෙති. සිල් සමාදන් නො විය හැක්කෝ ද ඒ දිනයෙහි විහාරස්ථානවලට ගොස් දහම් ඇසීම් මල් පහන් පිදීම් ආදී පින්කම් කරති. විශේෂයෙන් පව්කම්වලින් වැළකෙති. රක්ෂාව පිණිස සතුන් මරන්නෝ එදින සතුන් නො මරති. සතුන්ගෙන් වැඩගන්නෝ එදින වැඩ නො ගනිති. පොහෝ දිනය දෙව්ලොව දෙවියන්ගේ ද සැලකිල්ලට භාජන වී ඇති දිනයක් බව ධර්ම ග්‍රන්ථවල සඳහන්ව ඇත. පොහෝ දිනයන්හි දෙවියන් මිනිස්ලොව ඇවිද පින් කරන මිනිසුන් ගණන් ගන්නා බව ලෝකානුවිවරණ සූත්‍රයෙහි සඳහන්ව ඇත්තේ ය. අදට යෙදී ඇති බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍යය අතින් ද වැදගත් පෝය දිනයෙකි. සරත් කාලයේ ආරම්භය ද බිනර පසළොස්වක් පෝයෙහි සිට එළඹෙයි. සරත් කාලය හැම කවියෙකු විසින් ම වර්ණනා කරන ලද කවි සිත පුබුදු කරවන ලද ස්වභාවික සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වී ගිය සමයෙකි. බිනර පුන් පොහොය අයත් වන්නේ වස් කාලයටයි. මෙම පොහොය දිනයේද බොහෝ විහාරස්ථානවල වස් පින්කම් සිදුවෙයි. ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂී වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණීභාවයට අවසරය ලැබුණ නිසාය. ඇත්තෙන්ම කාන්තා පාර්ශ්වයට බුද්ධ ශාසනයට ඇතුළත්වීමට අවස්ථාව උදාවීම නිසා කාන්තාවන් ශාසනික වශයෙන් ජයග්‍රහණය කළ දිනක් සේ සැලකිය හැකිය. මේ පොහොය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත්වූ දිනය ලෙස සැලකිය හැක. ඇසළ පෝයෙන් ඇරඹුණු වස් සමාදානය කඩ නොකොට රැකගෙන පෙරට ගමන් කරන භික්ෂුව බුදුන්ගේ අනුශාසනා අනුව යමින් තවදුරටත් ධර්මයේ හැසිරෙයි. ධර්මයම පිහිට කරගෙන වාසය කරයි. භික්ෂුව සිය අභ්‍යන්තර පාරිශුද්ධිය රැක ගැනීමෙන් ශීල විශුද්ධිය ද, බණ භාවනා ආදියෙහි යෙදීමෙන් සිත වැඩීමට උත්සුක වෙමින් ලබන මානසික දියුණුව තුළින් චිත්ත විශුද්ධිය ද ළඟාකර ගැනීමට සමත් වේ.

බුදුරජාණන් වහන්සේ පහළ වූ භාරතීය සමාජයෙහි කාන්තාව කෙරෙහි දක්වන ලද සැලකිල්ල ඉතා ඛේදනීය විය. කාන්තාවකගේ ඉපදීම පවුලක අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකන ලද අතර ස්වාමියාගේ අභාවයෙන් පසු දැවෙන දර සෑයට පැන මරණය වැළැඳගත යුතුය යන නියමයක් ද විය. කුඩා කල මව්පියන් යටතේත් තරුණ කාලය ස්වාමියා යටතේත් මහලු කාලය දරුවන් යටතේත් ජීවත්විය යුතු වූ අතර ඔවුන්ගේ ප්‍රධානම ක්‍රියාව දරුවන් වැදීමට පමණක් සීමා කොට තිබිණ. මෙලෙස සමාජ පීඩනයට ලක්ව සිටි ස්ත්‍රීන් සඳහා බිනර පොහෝ දිනයෙහි ලබාදුන් නිදහසින් කාන්තාව පූජනීයත්වයට පත් කෙරිණි. බුදුදහමෙන් ලැබුණ එම මානව නිදහස පිළිබඳව කෘතවේදීභාවය අද ද කාන්තා සමාජය තුළින් දැකිය හැකි ය. විශේෂයෙන්ම ආගමික කටයුතුවල දී පුරෝගාමිව කටයුතු කරමින් සසුනට කෘතෝපකාරවීම ඔවුන් යුතුකමක් ලෙස සලකනවා විය හැකි ය. මේ අනුව බිනර පොහෝ දිනය කාන්තාවන් සඳහා සුවිශේෂී දිනයක් බව පැහැදිලිය. අද කාන්තා විමුක්තිය ගැන කතා කරන අය බුදුන්වහන්සේ මීට අවුරුදු 2500කට පෙර ස්ත්‍රී වර්ගයාට ලබා දුන් උතුම් සැනසුම ගැන කතා කරන්නේ නම් නැත. අද කාන්තා විමුක්තිය කතා කිරීම වෙනම ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එය වෙනම කතාවකි. කාන්තාවන්ට පැවිද්ද ලබා දීම සම්බන්ධ ආනන්ද හිමියන්ගේ ඉල්ලීම බුදුන් වහන්සේ තෙවරක් ම ප්‍රතික්‍ෂේප කළ හ. පසුව ආනන්ද හිමියන් ගේ බලවත් උත්සාහය නිසා කරුණු කියා මහා ප්‍රජාපතී ගෞතමීය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. “ආනන්දය, ඉදින් මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ පැවිදි වනු කැමැත්තී නම් පෙර බුදුවරයන් ගේ ශ්‍රාවිකාවන් විසින් පිරූ අෂ්ට ගරු ධර්මයන් ඇය විසින් ද පිළිගත යුතු ය. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේ ය. යනුවෙන් බුදුන් වහන්සේ වදාළහ.

advertistmentadvertistment
advertistmentadvertistment