කතරගම දේව ඇදහිල්ල ලාංකිය ජන සමාජයට එකතු වන්නේ අවුරුදු දහස් ගණනාවක පටන්. මෙය පුරාවෘත්තයක් පදනම් කොටගෙන ජන ඇදහිල්ලකි. මුලින් ඉන්දියාවේ හිංදුන් ඇදහූ ස්කන්ධ දෙවියන් දුටුගැමුණු රජතුමා විසින් ඇදහිමත් සමග ස්වදේශීය අපේ රටේ දෙවියකු ලෙස පත්වේ. මෙය ඓතිහාසික මූලාශ්‍රයන් තුළ ද පවතී.

කතරගම දෙවියන් යනු රණකාමී දෙවියකු ලෙස එකල ලාංකීය ජන සමාජය පිළිගෙන තිබේ. ත්‍රීසිංහලේ එක්සේසත් කරන්න යන දුටුගැමුණු කුමරුට යුද්ධයට පිහිට වූ ස්කන්ධ දෙවියන් හමුවීමත් සමග බෞද්ධ සම්ප්‍රදාය සමග දේව ඇදහීම බද්ධ වන්නේය. කප්පකන්දර නදිය අසබඩ ඉදිකළ දේවාලය මුල්කොට ගෙන එම දේවාලය හිමි දෙවියන් කතරගම දෙවියන් ලෙස ලාංකිය ජන සමාජය හඳුන්වා වන්නට විය.

ලොව පුරා විසිර සිටින හිංදු, බෞද්ධ, මුස්ලිම් බැතිමතුන්ගේ ගෞරවයට ආදරයට පාත්‍ර වූ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මුල් කොටගෙන දහස් සංඛ්‍යාත ජනතාවක් දිවි ගෙවති.

කපු මහතකු සම්බන්ධයෙන් (රන්තැටියක සිද්ධියක් මුල්කොට ගෙන) මේ දිනවල කතරගම දෙවියන්ගේ රුව පවා ඇතුළත් කර සමාජ මාධ්‍ය ද ඇතැම් ජනමාධ්‍ය තුළත් විවිධ අයුරින් පුදබිමට අපහාස වන අයුරින් අදහස් පළවීම සම්බන්ධයෙන් දිවයින පුරා විසිර සිටින බැතිමතුන් ගේ කලකිරීමට ලක්ව පවතී.

පුද්ගලයකු ගේ ක්‍රියා කලාපයක් මුල්කොට ගෙන පූජනීිය ස්ථානකට අපහාස කිරීමට සදාචරයක් නොමැති බව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ දෙවියන් සම්බන්ධයෙන් ඇති රූපවාහිනී නාලිකාවක කතරගම (සුබ්‍රමනියම්සාමි) ස්කන්ධ දෙවියන් පිළිබඳව වැඩසටහනක දී පසුගියදා විකාශන කර තිබේ.

‘දැන ගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග’ යන කියමනට අනුව කතරගම දේවාලයේ ඓතිහාසික පසුබිම් කොටගෙන සැඟ වූ රහස් රැසක් පවතී. ස්කන්ධ දෙවියන් හට ශ්‍රී ලංකීය ජන සමාජය වැඳුම් පිදුම් කිරීම ආරම්භ වූයේ ක්‍රි.පූ. 161-137 දක්වා රට පාලනය කළ දුටුගැමුණු රජතුමා විසින් ස්කන්ධ දෙවියන්ට වර්තමානයේ පවතින මහා දේවාලය ඉදිකිරීමත් සමගයි.

එළාර රජු සමග කළ සටන දිනවා දෙන ලෙස ස්කන්ධ දෙවියන්ට වූ භාරය ඉටුවීමෙන් පසුව රජතුමා දෙවියන්ට වූ පොරොන්දුව ඉටු කිරිමට කතරගම දේවාලය ඉදිකර ඇති බව ඉතිහාසය කියාපාති.

දුටුගැමුණු රජතුමා දේවාලය ඉදිකිරීමට පෙර අධිෂ්ඨානයක් කළහ. උතුම් ස්කන්ධ දෙවියන් තමන්ට දර්ශන වන ලෙසයි. එහිදී වර්තමාන වැඩසිටි කන්දේ දර්ශනය වූ ස්කන්ධ දෙවියන් හමුවේ රජතුමා අයැද සිටියේ උතුම් ඔබ වහන්සේට ඉරහඳ පවතිනා තුරු පුද පූජා තැබීමට දේව මන්දිරයක් සැදිමට ස්ථානයක් පෙන්වා දෙන ලෙසයි.

ඒ අනුව ස්කන්ධ කුමරු ඊතලයක් ගෙන දේවාලය ඉදිකළ යුතු ස්ථානය වෙත විද අද පවතින ස්ථානය පෙන් වූ බව දේවාලයේ ඉතිහාසය කියයි.

කතරගම දේව ඇදහිල්ලේ ඔබ නොදත් කතාව

ස්ථානය පෙන්නුම් කිරීමෙන් පසුව රජුට ස්කන්ධ කුමරු පැැවසුවේ රන් උළු සහිතව දේව මාලිගය සෑදීම තුළින් අනාගතයේ ආර්ථික පීඩනයකට ලක්වන ජනයා මේ වස්තූන් සොරකම් කළ හැකි බැවින් රනින් නිම නොකර රන් කෙත් මාලිගාවක් පමණක් සාදවන ලෙස පවසා ස්කන්ධ කුමරු අතුරුදන් වූ බව දේවාල කතිකාවල සඳහන් වේ.

මෙම උපදෙස් මත ඊතලය වැටුණු ස්ථානය වූ අද දේවාලය පවතින ස්ථානය ලකුණු කර ඉන්දියාවේ සිටි සෘෂිවරයින් බමුණු කුලේ අය කැඳවා වාස්තු විද්‍යා ශිල්පීන් ගෙන්වා ශාස්ත්‍රානුකූලව ස්කන්ධ දේවාලය ඉදි කළ බව දේවාල ඉතිහාසය කියා පායි. දේවාලය ඉදිකළ රජතුමා විසින් රජතුමාගේ මාමණ්ඩියකු මහාබේත්මේ (වර්තමාන බස්නායක නිළය) සඳහා පත්කර රජුගේ යුද්ධයට එක් වු දසමහා යෝධයින්ගේ පරපුරේ අය තෝරා පාරම්පරිකව දේවාලයේ පූජා කටයුතු සිදු කිරීමට සන්නසක් ද සහිතව කපුවරුන් වෙත නීති මාලාවක් ද සහිතව රජ අණක් ද පනවා දේව රහස් පරම්පරාවෙන් පිට අයකුට නෙපවසන ලෙස දිවුරුම් ගෙන කපු පරපුර පත්කළ බව ඉතිහාසය කියාපායි. දේවාලයේ පැවැත්මට රජතුමාගේ ගොඩමඩ ඉඩකඩම් අක්කර 90000 ක් සන්නසක් සහිතව පූජා කර දේවාලයේ රාජකාරි ඉටු කිරීමට රාජකාරිකරුවන් 552 ක් පත් කරන ලදි. ඔවුන්ට ජීවත් වීම පිණිස ගොඩමඩ ඉඩකඩම් ලබා ීදීමට රජතුමා පියවර ගනු ලැබීය. මෙම ඉඩම් ඌවේ බණ්ඩාරවෙල දක්වා ද රන්දෙනිගල, උඩවලව, තිස්සමහාරාම, මාගම දක්වා ද අතීතයේ පැවතිය.

මෙයට අමතරව වර්ෂයකට මංගල්‍යය 03 ක් ඉටු කිරීමට ඉල් මංගල්‍ය, අවුරුදු මංගල්‍යය, ඇසළ මංගල්‍යය, අඛණ්ඩව සිදු කිරීමට ද නියෝගයක් රජතුමා පැනවීය.

කතරගම දේවාලයේ පැවැත්මට ඉඩකඩම් බදු දීම තුළින් ලැබෙන මුදල් උපයෝගී කර ගෙන කිසිවකුගේ ආධාර නොමැතිව දෙවියන් රාජකීය අභිමානයෙන් ඉටු කිරීමට රජතුමා ක්‍රියා කරන ලදි. මේ වන විට ලංකාවේ රජකුගේ පාලනයක් නොමැති වුවත් එදා දුටුගැමුණු රජතුමාගේ රජ අණ අදටත් හෙළයේ චාරිත්‍ර විදි අනුගමනය කරමින් කතරගම දේවාලයේ පුද චාරිත්‍ර කටයුතු සිදු කරයි.

දේවාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරි වන්නේ බස්නායක නිලමේ වන අතර දේවාලයේ ඉඩම් බලා ගැනීම, බදු මුදල් එකතු කිරීම, පඬුරු පෙට්ටිවල සල්ලි ගණන් කර (බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත) පෙන්වීම, අලි ඇතුන් හා සේවක වැටුප් ලබා දී දේවාලයේ මංගල්‍යයන් සංවිධානය කිරිම ඇතුළු වගකීම් බස්නායක නිලමේට අයිති රාජකාරි වේ. දේවාලය වෙත පැමිණෙන බැතිමතුන් පූජා වට්ටියට තබන තුටු පඬුරු (සතුටු පඬුරු) කපුමහතා ට අයිති මුදලක් වේ. දෙවියන් වෙනුවෙන් සිදු කරන සේවයට ඔහුට ජීවත් වීමට ලබාදීමට බැතිමතුන් ක්‍රියා කරති.

අතීතයේ පටන් දේවාලයේ ඉඩකඩම්වලින් ලැබෙන ආදායම් මගින් පවත්වාගෙන ගිය කතරගම දේවාලය අර්බුදයට ලක්වූයේ විදෙස් ආක්‍රමණ හමුවේ බව සඳහන් වේ.1605 දී ඕලන්දක්කාරයෝ රට අල්ලා ගෙන ඌවේ වගාබිම් වනසා වැව් අමුණු කඩා විනාශ කරන ලදී.දේවාලයට අයත් ඉඩම් ලාභීන්ට වගා කිරීමට නොහැකි විය. දේවාලයට ලැබෙන ආදායම් අඩුවිය. මෙම හේතූන් මත ඇසළ මංගල්‍යය කිරීමට නොහැකි වීම මත 1605 ගණන්වල සිටි මහබෙත්මේ (බස්නායක නිලමේ) සහ කපුමහතුන් මාගම වලව්ව වෙත කැඳවා සාකච්ඡා කරන්න විය.

එහි දී දේවාලයට ලැබෙන ආදායම් නොමැති නිසා ඇසළ මංගල්‍යය නොපැවැත්වීමට බස්නායක නිලමේ සහ කපුමහතුන් එකඟ විය.

ඒ සමග එම වලව්වට නුදුරින් ඇති ගලක් උඩ එළියක් විහිදෙන්නට විය. එය දුටු මෙම පිරිස වහා එම ස්ථානය වෙත ගිය විටදී දිස් වූයේ සුදුවතින් සිටි බමුණකි.

මහා බේත්මේ කපුමහතුන් අමතා අදෘෂ්‍යමානව දර්ශනය වූ මෙම තාපසයා ‘උඹලා මගේ මංගල්‍යය නවත්වන්න එපා. මම සතර දිග් භාගයෙන් ජනයා ගෙන්වා දෙන්නම් ඒ බැතිමතුන්ට මගේ තේවාව අවසන් කර ආශිර්වාද කරපල්ලා’ යනුවෙන් පවසා මෙම තාපසතුමා අතුරුදන් විය. එදා දර්ශනය වූයේ උතුම් කතරගම දෙවියන් බව වටහා ගත් කපු මහතුන් දෛනිකව දේවාලයේ පූජාව සිදු කර තින්නෝරු නළලයේ තබා බැතිමතුන්ට ආශිර්වාදය ලබාදීමට ක්‍රියා කරති. එදා තාපස ගත් ස්කන්ධ කුමරු පැවසූ පරිදි දිවයිනේ සතර අතින් බැතිමතුන් කතරගමට ඇදී පැමිණීම සිදුවිය.

එවන් සංස්කෘතික ආගමික සහජීවනයෙන් හිංදු, බෞද්ධ, මුස්ලිම් යන ජාතින් තුනටම අදාළ ආගමික කේන්ද්‍රස්ථානය පිහිටි කතරගම පුදබිම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් සිදු කරන උපහාස රටේ බැතිමතුන් මෙන්ම කතරගම ජනයා ද දැඩි පිළිකුලෙන් හෙළා දකිති.

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් සඳහන් කළේ කතරගම පුදබිමට බොහෝ දෙනා භක්තිය දනවන පුදබිමක්. බැතිමතුන් වඳින පුදන මෙම ස්ථානයට අපහාස කිරීම නොකළ යුත්තකි.

මුහුණ සමග තරහට නාසය කැපුවා වැනි ලෙස කවුරුත් අදහන දේවාලයට අපහාස කිරීම නොකළ යුත්තකි.

කතරගම පූජා භුමියට එන බැතිමතුන් සඳහ වත්මන් බස්නායක නිලමේවරයාට පහසුකම් ලබා දීමට පියවර ගෙන තියෙනවා. මම සමාජ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා ආගමික ස්ථානයවලට අපහාස වන දේවල් දමන්න එපා කියලා යනුවෙන් ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් සඳහන් කරන ලදි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනශ්‍රැතිවේදි මහින්ද කුමාර දළුපොත මහතා සඳහන් කළේ, හිංදු, බෞද්ධ, මුස්ලිම් ජන සමාජයත් එක්ව ජාතීන් තුනක් ආගම් තුනක් එකට එකා බද්ධ කරලා කතරගම පුදබිම මිශ්‍ර වී තිබෙනවා.

ප්‍රජාවකගේ ඇදහිල්ලකට පහර පිට පහර ගහන්නේ මිනිසුන්ගේ විශ්වාස නැති කරන්න එසේ කිරීමෙන් බැතිමතුන්ගේ විශ්වාස, භක්තිය නැති වෙනවා. සොරකම්ක් වූවා යැයි පවසමින් මහා වටිනවා සංස්කෘතික ආගමට කරන හානිය සුළුපටු නෑ. මේ පුදබිම්වලට අපහාස වන ක්‍රියා වහා නැවැත්වීමට ක්‍රියා කළ යුතු බව මහින්ද දළුපොත මහතා සඳහන් කළේය. සෙල්ල කතරගම ශ්‍රී වල්ලිමතා ගල්ලෙන් විහාරාධිපති ආචාර්ය කුරුකුදේගම ජිනානන්ද හිමියන් සඳහන් කළේ කතරගම දෙවියන්ට ගරු කරන බොහේ පිරිසක් ලංකාවේත් විදෙස් රටවලත් ඉන්නවා. සෑම අයකු ම දෙවියන්ට ගරුකර කතරගමට එනවා කපු මහතා රන්තැටිය අරගෙන ගියලු. දැන් එය නීතිය හමුවට ගොස් අවසන්.

නමුත් දෙවියන්ගේ රූපය දමලා පුද්ගලයන්ට කරන අපහාස නතරවෙලා නෑ. මිනිසුන් ආධ්‍යාත්මික සහනයක් ගන්න එන තැනක් ඒ විශ්වාසය පළුදු කළොත් බැතිමතුන් කතරගම ඒම නවතීවි. දේවාලය මුල් කරගෙන වන්දනාකරුවන්ට සේවා භාණ්ඩ අලෙවි කර ජීවත් වන ගොඩක් අයට රැකියා අහිමි වේවි යනුවෙන් ආචාර්ය කුරුකුදේගම ජිනානන්ද හිමියන් අදහස් දැක්වූහ.

කතරගම කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment