කුලියට කැහීම සහ කුලියට වෙඩි තැබීම

1239

(රුසියාවේ ප්‍රති විප්ලවය නිමිත්තෙනි)

රුසියන් ජනාධිපති යනු අමුතුම මොඩලයේ රාජ්‍යත්වයකි. එම මොඩලය ඇමරිකන් ජනාධිපතිගේ සාම්පලයට වෙනස්ය. ඇමරිකන් ජනාධිපතිට එරෙහිව යුද ප්‍රකාශ කළත් රුසියන් ජනාධිපතිට එරෙහිව යුද ප්‍රකාශ කිරීමේ සිරිතක් ඉතිහාසයේ කොතනකවත් නැත. විශේෂයෙන්ම වර්තමාන රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ආඥාදායකත්වයට එරෙහිව මේ මිහිමත සිටින කිසි කෙනෙක් ඇඟිල්ලක් සෙලවීමෙන් පවා වැළකී සිටිති. එහෙත් මීට දින කිහිපයකට පෙර රුසියාවේ තිබෙන ප්‍රමුඛතම කුලී හමුදාව එහි නායකයාගේ නියමයට අනුව පුටින්ට එරෙහිව ප්‍රති විප්ලවයක් ආරම්භ කළේය. වැග්නර් යන නමින් හැඳින්වෙන මේ හමුදාව ගල්කටස් හෝ මන්න පිහි රැගෙන සටන් කරන හමුදාවක් නොව යුද්ධ ටැංකි, කාලතුවක්කු සහ මිසයිල වලින් ප්‍රහාර එල්ල කරන කණ්ඩායමකි. වැග්නර් කුලී හමුදාවේ ආදර්ශ පාඨය වන්නේ රුධිරය, ගෞරවය, මාතෘ භූමිය, ධෛර්යය යන්නය. ඉව්ජිනි ප්‍රිගොෂින් විසින් 2014 දී වැග්නර් කුලී හමුදාව පටන්ගන්නා විට එහි සිටි සෙබළ සංඛ්‍යාව 250 කි. අද එහි හමුදා බලය සෙබළුන් 50,000 කි. වැග්නර් හමුදාවේ මුඛ්‍ය නායකයා ප්‍රිගොෂින් වුවද එහි ප්‍රමුඛ නායකයා ලෙෆ්ටිනන් කර්නල් දිමිත්‍රි උත්කින් ය. උත්කින් ෆැසිස්ට්වාදියෙකි. මේ කුලී හමුදාවට වැග්නර් යන නම යොදන ලද්දේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රියතම සංගීතඥයා වූ රිචඩ් වැග්නර් සිහිවනු පිණිසය. ලෙෆ්ටිනන් කර්නල් උත්කින්, ජනාධිපති පුටින්ගේ සියලුම කේටරින් වැඩ සිදුකළ කෝකියා ලෙස හැඳින්වෙන ව්‍යාපාරිකයකු වූ මෙහි මුලින් සඳහන් කළ ඉව්ජිනි ප්‍රිගොෂින්ගේ කිට්ටුම මිත්‍රයාය. ප්‍රිගොෂින් හරහා පුටින් සමග සෙට් වීමට උත්කින් ට හැකි විය. මෙහිදී කෝකියා නමැති භූමිකාව පිළිබඳ කුඩා විස්තරයක් කරමු. රාජ්‍යය නායකයාගේ කෝකියා රාජ්‍යය නායකයාට ඉතා කිට්ටුය. මේ නිසා රාජ්‍යය නායකයාට ගේමක් දීමක් සඳහා කෝකියා පාවිච්චි කළ හැකිය. ප්‍රංශ විප්ලව සමයේදී ලුවී රජු මරා දැමීම සඳහා විප්ලවකරුවන් විසින් රජුගේ කෝකියා සෙට්කර ගන්නා ලදී. ඔවුන් plan කළේ කෝකියා ලවා රජුට වස දීමටය. එහෙත් එය හරිගියේ නැත. සරත් ෆොන්සේකාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ ඔහුගේ කෝකියා සමග සම්බන්ධයක් පැවැත්වූ කාන්තාවක විසිනි. සිංහල රජවරු කෝකියා කෙරෙහි මහත් සැකයකින් පසුවිය. ඒ නිසා රජුට උයන කෑම අනුභව කර බලා test කිරීම පිණිස වෙනම කෙනෙක් සිටියේය. ජනාධිපති ප්‍රේමදාසට බෝම්බ ගැසූ බාබු නමැත්තා මොහිදීන්ගේ හිතවතෙකි. මොහිදීන් යනු ප්‍රේමදාස ජනාධිපතිගේ කෝකියා සහ පුද්ගලික සහකරුය. කෝකියා හරහා ජනාධිපති පුටින්ට set වූ උත්කින් රුසියාව සමග වෙනත් රටවල් පැවති ගැටුම් ගණනාවකදීම සිය හමුදාව කුලියට දුන්නේය. වැග්නර් හමුදාවේ මූලස්ථානය පීටර්ස්බර්ග් නුවර පිහිටා තිබේ. එය තට්ටු 70 න් පමණ සමන්විත යෝධ බිල්ඩිමකි. මේ සියල්ල සාදන ලද්දේ 2014 න් පසුවය. ඒ සඳහා උත්කින් ට සම්පූර්ණ ආධාර කරන ලද්දේ ජනාධිපති පුටින් ය.

මෙසේ කල්ගත වනවිට වැග්නර් කුලී හමුදාව කිසියම් අවස්ථාවකදී තමන්ටත් රටේ ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් විය හැකි බව ජනාධිපති පුටින්ට තේරුම් ගියේය. ඒ නිසා රුසියාවේ තිබෙන සියලුම පුද්ගලික හමුදා විසුරුවා හැරීමට ඔහු නියෝග කළේය.

පුටින් ගේ සැකයට යථාර්ථවාදී පදනමක් තිබිණ.

2014 දී වැග්නර් හමුදාව 250 ක් වී 2023 වනවිට 50000 ද ඉක්මවා යන්නේ නම් ඉදිරි අවුරුදු 5 තුළ එහි පිරිස් බලය දෙලක්ෂය ඉක්මවා වර්ධනය වීමට ඉඩ තිබේ. කුලී හමුදාවලට හොඳ පඩි ගෙවනු ලැබේ. රජයේ හමුදා සෙබළකුට ඩොලර් 1000 ක් ගෙවන විට කුලී හමුදා සෙබළකුට ඩොලර් ලක්ෂයක් ගෙවනු ලැබේ. කුලී හමුදා සෙබළා සටන් බිමකට යන්නේ ආපසු පැමිණීමට නොවේ. මරාගෙන මැරීමටය. යුක්‍රේන් යුද්ධය මුලදී වැග්නර් හමුදාවේ පිරිසක් යුක්රේන් ජනාධිපති මැරීමට ගියහ. එහෙත් වැඩේ වැරදුනු බැවින් දින කිහිපයකට පසු වැග්නර් කට්ටියගේ මළ සිරුරු තැන තැන තිබෙනු දැකගත හැකිවිය. වෙනත් පෞද්ගලික යුද කුලී හමුදාවන් සහ වැග්නර් හමුදාව අතර වෙනසක් පවතී. යටත්විජිතවාදී යුගයේ බි්‍රතාන්‍යය හමුදාවේ පැවති ජනවාර්ගික සේනාංක හා සමාන සේනාංක සමූහයක් වැග්නර් හමුදාවේ ඇත. සර්බියානු සේනාංකය, රුසියන් සේනාංකය, ස්කැන්ඩිනේවියානු සේනාංකය යනාදී වශයෙන් එක් එක් ජනවර්ගවලට ආමන්ත්‍රණය කළ හැකි සේනාංක මෙහි ඇත. රුසියාවේ හටගත් සිද්ධිය කුලී හමුදා පවත්වාගෙන යන වෙනත් රටවලටද පාඩමකි. මේ කුලීකාරයෝ කිසියම් දිනක සිය තුවක්කුව සිය අයිතිකාරයා පැත්තට හරවන්නේය. ඒ නිසා වෙන මොන මඟුල පුද්ගලික අංශයට දුන්නත් ජාතික ආරක්ෂාවට බලපාන කිසිම දෙයක් පුද්ගලික අංශයට නොදිය යුතුය. මෙයට අවුරුදු 35 කට පමණ පෙර ප්ලොට් සංවිධානයේ නායක උමා මහේෂ්වරන්ට අයත් කුලී හමුදාවක් මාලදිවයින ආක්‍රමණය කළේය. ඉන්දියාව නොසිටින්නට එම ආක්‍රමණය සාර්ථක වනවා ඇත. මීට දින කිහිපයකට පෙර පටන්ගත් වැග්නර් හමුදාවේ ප්‍රති විප්ලවය මේවන විට නැවතී තිබේ. එහි ප්‍රධානියා වූ උත්කින් බෙලරස් නමැති රටේ දේශපාලන රැකවරණ ලබනවා ඇත. වැග්නර් හමුදාවට දරුණු දඬුවම් කරන බව ජනාධිපති පුටින් කියා තිබේ. එහෙත් ඔහු එවැනි දෙයක් නොකරන බව අපට විශ්වාසය. රුසියාව මේ මොහොතේ සිටින්නේ කිසිවකු සමග තරහ විය යුතු අවස්ථාවක නොවේ. සතුරන් දිනාගත යුතු අවස්ථාවකට ව්ලැඩ්මීර් පුටින් පත්ව සිටී. මේ කතුවැකිය අවසන් කරන අතර කුඩා කාරණයක් සිහිපත් කළ යුතුව තිබේ. ඔසාමා බින් ලාදින් සිය ජීවිතය පටන්ගන්නේ කුලී හමුදාවක අයිතිකරු ලෙසය. සෝවියට් දේශය විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ අවස්ථාවේදී එම සෙබළුන්ට වෙඩි තැබීම සඳහා ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තානයට යවන ලද්දේ ඔසාමා බින් ලාදින්ගේ කුලී හමුදාවය.

advertistmentadvertistment
advertistmentadvertistment